ලේලිගේ දිනපොත - 18 ( හාස්‍යයට පමණි ) by Muthuwrites

° පළවෙනි පරිච්ඡේදය :

Funny Sinhala Diary by Muthuwrites

නිවාඩු දවසක් . උදෙන්ම උඩ ගිහිල්ල ඇහැරුනේ මහ හයියෙන් ඇහෙන ගාථා සද්දෙකට.

නැන්දම්මා උදේ පාන්දරම සාලේ තියෙන බුදු පිළිමය ගාව මහ හයියෙන් ගාථා කියනව. ගාථා කියන සද්දෙට වඩා මට ඇහුණේ "තොපි තවම නිදිදෝ..." කියන උපසිරැසිය වගේ. 😂 

නැගිටින්න කම්මැලිකමටම කණ් දෙකත් වහගෙන තව ටිකක් නිදියගත්ත.

​ටිකකින් ඇහැරිලා කුස්සියට යනකොට නැන්දම්මා හාල් ගරනවා. මාව දැක්ක ගමන් මූණට මහා කරුණාවන්ත හිනාවක් දාගෙන කියනවා,

 "අනේ දුවේ, ඔයා නිදාගන්න. මම මේ හාල් ටික ගැරුවා. දැන් කාලේ ළමයින්ට හාල් ගරන්න තේරෙන්නේ නෑනේ, ගල් වැලි අහුවෙනවා" කියලා. 

මම ඉතින් කිචන් ටොප් එක උඩ තිබ්බ සුපර් මාකට් එකෙන් ගෙනාපු 'සම්බා හාල්' පැකට් එක දිහා බලලා හිනාවුණා. 

(ඒකේ ලොකුවටම ගහලා තිබුණා 'ගල් වැලි ඉවත් කල පිරිසිදු හාල්' කියලා)

ඒක ගැන කොයි තරම් කිව්වත් වැඩක් නැහැ. නැන්දම්මා හාල් ගරලම තමයි නවතින්නෙ.

😏 මම ඉතින්, "අනේ ඔව් අම්මේ, ඔයා ගරපු හින්දා හොඳයි, නැත්නම් ඔයාගේ පුතාට බත් කද්දී ගල් හැපෙයි" කිව්වා. 

​දවල්ට මම පොළොස් ඇඹුලක් හැදුවා, හස්බන්ඩ් කන්න වාඩි වෙලා, "අම්මෝ... මේ පොළොස් එක නම් මරු. අම්මා ඉස්සර හදනවා වගේමයි" කියලා මට වින්ක් එකක් දැම්මා. 

නැන්දම්මා එතනින් යන්න ගිහින් ආපහු හැරිලා ඇවිත් හැන්දෙන් පොඩ්ඩක් අරන් රහ බලලා කියනවා, 

"රහ නම් හොඳයි, හැබැයි පොළොස් කෑලි තව ටිකක් තැම්බෙන්න තිබුණා. මම නම් පොළොස් හදන්නේ වතුර හිදෙන්නමයි" කියලා

. මම ඉතින් හස්බන්ඩ් දිහා බලලා, "අනේ අම්මේ, ඔයාගේ පුතා දැන් ඔෆිස් එකේ දවස තිස්සේම 'කම්පියුටර්' ඉස්සරහා ඉඳගෙන ඉඳලා ඇග වේලිලා.”

“වතුර හිදෙන්නම හැදුවොත් එයාට මලබද්ධය හැදෙයි කියලා මම දිය ගතිය තියලා හැදුවේ" කිව්වා. 

මහත්තයා බත් කට උගුරේ හිරවෙලා කැහැගෙන කැහැගෙන ගියා. නැන්දම්මා කුස්සියෙන් යන්න ගියේ "හුම්..." සද්දයක් විතරක් දාලා. 😁

​හවස පහට විතර නැන්දම්මාගේ හොඳම යාළුවා, එහා වත්තේ පියසීලී ඇන්ටි ආවා. දෙන්නත් එක්ක මිදුලෙ මම අලුතින් ගෙනාපු රෝස පැල බලනව.

 "අනේ මන්දා අනේ, දැන් කාලේ ළමයි වත්තක වවන්නේ මල් විතරයි. කන්න බොන්න දෙයක් වවන්නේම නැහැනේ" පියසීලී ඇන්ටි කියනවා. 

නැන්දම්මාත් ඉතින්,

 "ඒක තමයි පියසීලී , ඉස්සර අපි ගෙදර වටේටම කොස්, දෙල්, පොල් හිටවලා තිබුනා. මෙහේ ඉතින් කන්න වෙන්නෙත් සුපර් මාර්කට් එකෙන් ගේන ඒවා තමයි" කියලා.

මම ඉතින් නැන්දම්මා ලගට ගිහින් හිනා වෙලා කිව්ව  “ අම්මෙ ඔයාගෙ පුතාට පුලුවන් නම් අහල පහල වතු ටික සල්ලි දීල ගන්න අපිටත් කොස්, දෙල්, පොල් වවන්න තිබුන”

“මේ අල්ලක් විතර වත්තක කොහොමද අම්මෙ ඔය ගස් වවන්නෙ” කියල.

“මමත් එහෙනම් ගිහින් එන්නම්” කියල පියසීලී ඇන්ටි හිමින් එතනින් මාරු වුනා.

​ඔන්න රෑ වුණා. මහත්තයා කාමරයට ඇවිත් මට කියනවා, "අනේ පැටියෝ, අම්මා කියනව මීට පස්සෙ පෙන එන සබන් එකක් ගන්න කියල.”

“කොච්චර ගෑවත් ඒ සබන් වල පෙන එන්නෙ නැහැලු.” අර බාත් රූම් එකේ ඉදන් එක කෝලමයි සබන් කෑල්ලක් එක්ක”

“ ආ… අයියෝ…… අම්ම මොන සබන්ද ගාන්නෙ”

මම ඉක්මනට ගිහිල්ල බලද්දි මම දාස් ගානක් දීල මූණට ගාන්න ගෙනාපු සබන් කෑල්ල කකුල් දෙකේ අතුල්ලනව. ඒකෙන් බාගයක්ම ඉවරයි 🙄

අද මැච් එක මම වගේම නැන්දම්මත් හොදටම සෙල්ලම් කලා. දැන්නම් හොදටම හොදටම නිදිමතයි 😴


° දෙවෙනි පරිච්ඡේදය :

Funny Sinhala Diary by Muthuwrites ,

අද උදේ පාන්දරම සාලෙන් ඇහුණේ නිකන් 'සුනාමි' වගේ සද්දයක්. 

නැන්දම්මා මහා යුද්ධෙකට වගේ ලෑස්ති වෙලා සාලේ පුටු ඔක්කොම උඩුයටිකුරු කරලා, දූවිලි පිහදානවා 'දඩස් බිඩස්' ගගා.

මම ඇහැරිලා සාලෙට යනකොට මාව දැක්ක ගමන් කියනවා,

 "අනේ දුවේ, මම මේ  උදේ පාන්දරම ගේ අස් කරන්න ගත්තා. නැත්නම් ඉතින් මේ ගෙවල් දූවිලි ගොඩවල් නේ" කියලා මහා අහිංසක මූණක් දැම්මා. 

හැබැයි පිහදානව කියල එයා කරන්නේ මම ලස්සනට අස් කරලා තිබ්බ සෝෆා කුෂන් ටික හැමතැනම විසි කරන එක 😏

​මහත්තයා නිවාඩු දවස නිසා සාලේ පත්තරයක් බලන්න වාඩි වුණා විතරයි, නැන්දම්මා කොස්සත් අරන් මහත්තයාගේ කකුල් දෙක ගාවටම ඇවිත් අතුගාන්න ගත්තා. 

"අනේ පුතේ, ඔය කකුල් දෙක පොඩ්ඩක් උස්සන්න. ඔයාලට ඉතින් මේවා පේන්නේ නෑනේ. මම නැති දවසක මේ ගේ කැලෑවක් වෙයි" කියලා ලොකු සුසුමක් හෙළුවා. 

මම ඉතින් කුස්සියේ ඉඳන් සාලෙට ඇවිත්, "අනේ ඔව් අම්මේ,  අතුගාන එක කොච්චර හොද දෙයක්ද?” 

“ඔයාගේ පුතාටත් ඩොක්ටර් කිව්ව ‘ෆැටී ලිවර්’ වලට හොඳම ව්‍යායාමය තමයි ඔය නැමි නැමි අතුගාන එක” කියල......, හස්බන්ඩ්ට කිව්ව 

“බබා.. අම්මට අමාරුයි වගේ, ඔය කොස්ස අරන් සාලේ ඉතුරු ටික අතුගාන්නකො" කියල 

මහත්තයා"මට බඩේ කැක්කුමක් වගේ" කියාගෙන බාත්රූම් එකට දිව්වා. නැන්දම්මා කොස්ස මිට අල්ලන් මගේ දිහා බලන් හිටියේ නිකන් 'රාජසිංහ රජ්ජුරුවෝ' වගේ. 😂

​හවස හතරට විතර සුපුරුදු පරිදි අපේ 'ඕපදූප සන්නිවේදන මධ්‍යස්ථානය' වන පියසීලී ඇන්ටි කඩාපාත් වුණා. 

නැන්දම්මා කාමරේ තිබ්බ පරණ සඟරා මිටියක් පියසීලී ඇන්ටිට පේන්න ගේන ගමන් කියනවා, "අනේ පියසීලී, බලන්නකෝ මේවා මම ආසාවෙන් කියවපුවා”

“මම මේවා පණ වගේ රකින්නේ. දැන් කාලේ ළමයින්ට මේවගේ වටිනාකමක් තේරෙන්නේ නෑනේ, කුණුකොල්ලෙට පරණ බඩු කාරයින්ට දෙන්න හදන්නේ" 

කියලා මට ඇහෙන්නම කිව්වා.

​මම ඉතින් බොහොම ගෞරවනීය විදිහට තේ කෝප්ප දෙකත් අරන් සාලෙට ගියා. "අනේ පියසීලී ඇන්ටි, අම්මා කියන එක සහතික ඇත්ත"

“අම්මා පරණ දේවල් වලට තියෙන ආසාව නිසාමනේ 1990 ගනන් වල පත්තර ඔක්කොම ඇඳ අස්සේ පණ වගේ රැකගෙන ඉන්නේ”

 “මම මේ ඊයේ පෙරේදා ඒවයේ හිටපු කැරපොත්තෝ ටිකක් අයින් කරන්න හැදුවා විතරයි, අම්මා මට බැන්නා පරණ දේවල් අගය කරන්නේ නෑ කියලා" කිව්වා. 

පියසීලී ඇන්ටි කටත් ඇරගෙන "අම්මෝ.. අනූවෙ පත්තර?" කියලා නැන්දම්මා දිහා බලද්දී, නැන්දම්මා තේ කෝප්පේ මේසේ උඩින් තිබ්බේ නිකන් 'භූමිකම්පාවක්' ආවා වගේ සද්දෙකින් 😯

​රෑ වෙද්දී මහත්තයා කාමරයට ආවේ නිකන් හොරෙක් වගේ වටපිට බල බල. 

"බබා.. අම්මා කියනවා එයා හෙට ලොකු අක්කලගෙ ගෙදර යනවාලු. ඔයා පියසීලී ඇන්ටි ඉස්සරහා එයාට ඕනෙ නැති ව්දිහට කතා කලා කියලා කියනව”

“අන්න අම්ම කාමරේට වෙලා බෑග් එක අස් කරනවා, ඔයා මොනවද අම්මට කිව්වෙ?”

​මම හිනාවෙලා මහත්තයාගේ කරට අතක් දාලා, "අනේ පැටියෝ, මම මොනවද ඕනෙ නැති ඒව කිව්වේ?”

“මම කිව්වේ අම්මා ඉතිහාසයට ආදරෙයි කියලා විතරනේ. අනික අම්මා අක්කලගෙ ගෙදර යනවා නම් මම හෙට උදේට ලෑස්ති කරන්න ඕනේ මොනවාද කියල අහල එන්නම්" කිව්වා. 

හස්බන්ඩ් "උඹ නම් මාර බඩුවක්" කියන බැල්මෙන් මගේ දිහා බලලා, "මට බෑ ඕවා මැදට පනින්න" කියලා බෙඩ්ෂීට් එක පොරවගත්තා. 😴

​අද මැච් එකේ ෆයිනල් ස්කෝර් එක ​මගෙන් සාර්ථක පන්දු රැකීම් දෙකක් සහ සුපිරි ස්ටම්ප් කිරීමක්.

​නැන්දම්මා,දූවිලි වලින් පටන් අරගෙන, පරණ පත්තර අස්සේ  ගිහින් 'රන් අවුට්’ වුණා.

​හස්බන්ඩ්ට අම්මයි බිරිඳයි අතර 'තර්ඩ් අම්පයර්’ වෙන්න වුනා.


Next Episode 👇

https://muthuwrites43.blogspot.com/2026/06/19-by-muthuwrites.html


Previous Episode 👇

https://muthuwrites43.blogspot.com/2026/06/17-by-muthuwrites.html



Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම ( හාස්‍යයට පමණි ) - by Muthuwrites

ලේලිගේ දිනපොත - 12 නෑදෑ ගමන ( හාස්‍යයට පමණි ) - by Muthuwrites

ලේලිගේ දිනපොත - 14 සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම ( හාස්‍යයට පමණි ) - by Muthuwrites