ලේලිගේ දිනපොත - 13 ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම ( හාස්‍යයට පමණි ) - by Muthuwrites

° පළවෙනි පරිච්ඡේදය :


sinhala funny diary by Muthuwrites, funny diary image ,

ගිය සතියේ පොඩි දුවගේ ගෙදරින් "රිටයර්ඩ් හර්ට්" වෙලා ආපු නැන්දම්මා දවස් දෙක තුනක් යනකම්ම "ලෝ ප්‍රොෆයිල්" එකේ හිටියේ සද්ද බද්ද නැතුව.  

 ඊයෙ හැන්දෑවෙ  ඉඳන් මට තදටම උණ හැදුණා.🌡️ ඇඟට පණක් නැතුව, ඔළුව උස්සගන්න බැරුව මම ඇඳටම වැටුණා.

​උදේම හස්බන්ඩ් ඔෆිස්  යන්න කලින් මට බේත් දීලා, නැන්දම්මාට කතා කරලා කිව්වා, "අම්මේ, මෙයාට හොදටම අසනීපයි තාම. පොඩ්ඩක් බලන්න. 

අම්ම උයන්න මහන්සි වෙන්න එන්න එපා, මම වේලස්සනින් එන්නම් කෑම අරගෙන. එතකන් අම්මට සුප් එකක් හදන්න පුලුවන්ද " කියලා.

​නැන්දම්මා බොහොම අනුකම්පාවෙන්, "අනේ ඔව් පුතේ, ඔය ළමයට ඇඳෙන් නැගිටින්න දෙන්න එපා. මම බලාගන්නම්කෝ,"

" මට ඔය සුප් ටිකක් හදල දෙන එක මහ ලොකු වැඩක්‍ යෑ" කිව්වේ මහා කරුණාවන්ත මව් රැජිනක් වගේ. 👑

​හස්බන්ඩ් ඔෆිස් ගිය ගමන් මව් රැජිනගේ "ටෲ කලර්" එළියට ආවා. උණ කට්ට රේඛාව පැනලා තියෙද්දී නැන්දම්මා කාමරේ දොර ළඟට ඇවිත් කැස්සක් දාලා "ඕපනින් ස්පෙල්" එක පටන් ගත්තා.

​"අනේ මන්දා, මේ කාලේ ළමයින්ට පොඩ්ඩක් හීතල හුළඟක් වැදුණත් ඇඳට වැටෙනවා. අපේ කාලේ අපි ප්‍රසූත වේදනාව තියාගෙනත් ගෙදර වැඩ කෙරුව. 

දැන් ඉතින් රෙදි ටිකයි, ගේ දොරයි ඔක්කොම එහෙම්මමයි," කියලා මට ඇහෙන්න මුමුණ මුමුණ සාලෙට ගියා. 

​උණ ගතිය අස්සෙත් මට තරහයි. හැබැයි ශරීර කූඩුව දුර්වල නිසා මම සද්ද නැතුව "ඩිෆෙන්ස්" පාරක් දාලා හිටියා.

​දවල් 12 විතර වෙද්දී මට බඩගිනි වුණත් ඇඳෙන් නැගිටගන්න බෑ. නැන්දම්මා මගේ කාමරේට ආවේ 'ස්පෙෂල් ඩිලිවරි එකක්  අරගෙන.

 මම හිතුවා අනේ මට සුප් ටිකක්වත් හදලා ගෙනාවා වෙන්න ඇති කියලා. 🥣

​හැබැයි මේස උඩින් තිබ්බ පිඟාන දැකලා මගේ උණ විනාඩියෙන් බැස්සා 

​පිඟානේ තිබුණේ ඊයේ රෑ ඉතුරු වෙච්ච, ශීතකරණයේ දාලා ගල් වෙච්ච හාල මැස්සෝ හොදි ටිකක් රත් කරලයි, කරකුට්ටන් වෙච්ච පාන් කෑලි දෙකකුයි 

​"අනේ දුවේ, මට ඉතින් තනියම මොකුත් කරගන්න  බෑ, අදම මේ දණහිස් අමාරුවක් ආවනෙ. හිටගෙන ඉන්නවත් අමාරුයි සුප් ටිකක් හදන්නවත්."

" උණ හැදුණාම කටට සැරට කන්න ඕන නිසා මම මේ ඊයේ රෑ හොදි ටික රත් කරලා ගෙනාවේ. ඔය ටික කාලා බේත් බොන්න,"

 කියලා නැන්දම්මා මාලිගාවෙන් සමුගන්නා රැජිනක් වගේ යන්න හැරුණා.  අයෙත් හැරිල “අපි නම් තරුණ කාලෙ මොන ලෙඩ තිබුනත් නිදියගෙන හිටියෙ නැහැ. හොදට…..” 

කියල නැන්දම්මගෙ අතීතකාමය පටන් ගන්න යනකොටම මම, ​’බවුන්ස්’ වෙලා ආපු බෝලෙට උණ අමතක කරලා ‘හුක් ෂොට්’ එකක් ගැහුවා! 🏏

​"අනේ තැන්ක් යූ අම්මේ.. ඔයා මගේ ගැන හිතන එක ගැන. හැබැයි ඩොක්ටර් කිව්වා මට තියෙන්නේ වයිරස් උණක්,"

"ඒ නිසා බෝ වෙන්න පුළුවන් කියලා. ඔයාටත් දණහිස් අමාරුවත් එක්ක උණත් හැදුණොත් බලාගන්න කවුරුත් නෑනේ. ඒකයි මම මේ බයේ ඉන්නේ," කියලා මම ටිකක් කැස්සා .💨

​"බෝ වෙනවා" කියන වචනේ ඇහුණු ගමන් නැන්දම්මා තුන් අඩියක් පස්සට පැන්නා.​"අනේ.. ඒක තමයි.. මටත් මේ ඇඟට හරි නෑ වගේ," කියාගෙන නැන්දම්මා කාමරෙන් ගියා නෙමෙයි ඉගිල්ලුනා.

​හැබැයි "මැච්" එක එතනින් ඉවර වුණේ නැහැ. හවස 5ට විතර හස්බන්ඩ් දුවගෙන ගෙදර ආවා. ඇවිත් කෙළින්ම මගේ කාමරේට ඇතුළු වුණේ  කන්න බොන්න දේවලුත් අරගෙන. 

​"අනේ බබා, මට රැස්වීමක් සෙට් වෙලා වේලස්සනින් එන්න බැරුව ගියා අනේ. සොරි පැටියෝ අම්මා ඔයාට සුප් ටිකක් හදලා දුන්නා නේද?" 

කියලා මහත්තයා අහද්දීම, නැන්දම්මාත් සාලේ ඉඳන් කාමරේට එබුණා.

​මම කිසිම කලබලයක් නැතුව අර මේසේ උඩ තිබ්බ සීතල හාලමැස්සෝ හොදි පිඟාන මහත්තයාට පෙන්නුවා. 

​"අද අම්මට දණිස් අමාරුවක් හැදිල අනේ පව්. ඒත් අම්මා මට මාර විදිහට සැලකුවා. මේ බලන්නකෝ,"

මගේ කටට සැරට තියෙන්න ඊයේ රෑ ඉතුරු වෙච්ච හාලමැස්සෝ හොදියි,  පානුයි ගෙනත් දුන්නා. අම්මාගේ දණහිස් අමාරුව අස්සේ මට මේවා ලෑස්ති කරපු එකම කොච්චර දෙයක්ද?" කියලා මම බොහොම අහිංසක මූණක් දැම්මා. 😏

හස්බන්ඩ් පිගාන දිහා බලලා, ඊටපස්සේ නැන්දම්මා දිහා බැලුවේ හරියට "අම්මා මෙහෙමද මගේ වයිෆ් ට සළකන්නෙ?" කියන බැල්මෙන් වගේ.

​නැන්දම්මා ලැජ්ජාව වහගන්න, "නෑ පුතේ.. මම මේ.. දුවට ට කටට රහට..." කියලා ගොත ගහන්න ගනිද්දිම. 

“ අම්මාට අසනීප නම් මට කෝල් එකක් දීලා කියන්න තිබුණානේ. එහෙම නම් මම මොනව හරි කරනවනෙ. දැන් කමක් නෑ. අම්මටත් බඩගිනි ඇතිනෙ. කෑම ගෙනාව කන්න” 

කියලා මහත්තයා කියද්දි නැන්දම්මා "ක්ලීන් බෝල්ඩ්" වුණා මහා පරිමාණයෙන්. 

​නැන්දම්මාට කරකියාගන්න දෙයක් නැතුව, "අනේ මන්දා, මේ ගෙවල්වල හොඳක් කරන්නත් බෑ," කියාගෙන තොල් මතුර මතුර තමන්ගේ කාමරේට ගිහින් දොර වහගත්තා. 

​මහත්තයා මට ආදරෙන් කෑම කවද්දී, මම හිතින් හිනාවුණා. උණ හැදුණත් "ලේලිගේ ඉනිම" නම් සිරාවටම ක්‍රීඩා කරා 🏆

​ අද උණ මැච් එකේ ස්කෝර් එක :

​මම : ඇඳට වැටිලා හිටියත්, අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් "මැච් විනින්ග්" සිරා ඉනිමක් ක්‍රීඩා කළා.

​මහත්තයා: නියම වෙලාවට ඇවිත් නැන්දම්මාගේ "ව්කට්" එක කුඩු වෙන්නම පහර දුන්නා. 

​නැන්දම්මා: ලෙඩ අස්සේ ලකුණු දාන්න ගිහින්, තමන්ගේම පුතාගෙන් "ක්ලීන් බෝල්ඩ්" වෙලා, ලැජ්ජාව නිසාම කාමරේට වෙලා "ලොක්ඩ් ඩවුන්" වුණා 💨


° දෙවෙනි පරිච්ඡේදය :


Sinhala funny diary by Muthuwrites, funny diary image,

මට තාමත් ඒ තරම් ලොකු සනීපයක් නැහැ. ඒත් ඉතින් සුපුරුදු වැඩ ටික කරගෙන හිටිය. ඊයෙ මට අපේ අම්මා කතා කරලා කිව්වා, "දූ.. අපි හෙට උදේට ඔයාලව බලලා යන්න  එනවා," කියලා.


​මම ඉතින් සතුටින් ඉපිලිලා නැන්දම්මාට විස්තරේ කිව්වා.


​"අනේ අම්මේ.. හෙට උදේට අපේ අම්මල මෙහෙ එනවා කිව්වා."


​නැන්දම්මා එකපාරටම උඩ බිම බලලා, මූණ ඇද කරලා,  “නෑදෑයෝ එද්දී හොදින් සළකන්න එපෑයා ඉතින්"

" හැබැයි දුවේ, මගේ ඇඟට නම් හරි නැහැ මේ ටිකේ ටිකක් අමාරුයි, උයන්න පිහන්න නම් මට උදව් වෙන්න නම් බැරි වෙයි," කියලා කලින්ම "සේෆ් සයිඩ්" එකට මාරු වෙන්න හැදුවා. 🙄


​"අනේ නෑ අම්මේ.. ඔයා මොකටද මහන්සි වෙන්නේ? මම ඔක්කොම බලාගන්නම්," කියලා මම කිව්ව.​


​සෙනසුරාදා උදේ නවය වගේ වෙද්දී අපේ අම්මලාගේ වාහනේ ගේට්ටුවෙන් ඇතුල් වුණා.

අම්මයි, තාත්තයි, නංගියි ගෙට ඇතුල් වෙද්දිම ​නැන්දම්මා සාලේ සෝෆා එකට වෙලා "ආ.. එන්න.. එන්න.." කියලා  හිනාවකින් සංග්‍රහ කරද්දී, අපේ අම්මා කෙළින්ම නැන්දම්මා ළඟට ගියා.


​"අනේ අක්කේ.. කොහොමද  අසනීප?  දුවටත් ටිකක් අසනීප උනානෙ. ඒකයි ඉතින් බලල යන්න ආවෙ.වත්තෙ ඵලදාව ටිකකුත් තිබුන. ඒකත් දෙන්න එක්ක ආවෙ"

කියල තාත්ත උස්සගෙන ආපු තැඹිලි, කෙසෙල්, කොස් ටිකත් එතනින් තිබ්බ.

“ඒ විතරක් නෙවෙයි, දුව කිව්වා අක්කා රෑට සැහැල්ලු කෑම තමයි කන්නේ කියලා.."

"ඒක හින්දා මම ගෙදරදීම හදපු සුවඳැල් සහල් පිටිවලින් ඉදි ආප්පයි, සීනි සම්බෝලයි ටිකක් හදාගෙන ආව උදේට කන්න,"

කියලා අම්මා පෙට්ටි ටික ඇරලා මේසේ උඩින් තිබ්බා. 🍲


​ගිය සතියේ පොඩි අක්කා දුන්න "නාටු කෙසෙල් ඇවරියයි, පාන් පෙති හතරයි" මතක් වෙලාද මන්දා, නැන්දම්මාගේ මූණ "ෆ්ලෑෂ්" වුණා වගේ දිලිසුණා.


​"අනේ.. ඔව් නංගී.. මම මේ බර කෑම කන්නේම නැහැ. ඒත් මේවා දැක්කාම බඩගිනිත් එනවා,"

කියලා නැන්දම්මා ඉදිආප්ප දහයක් විතර පිඟානට දාගත්තේ "රෑට බර කෑම නරක වුණාට උදේට කමක් නෑ" කියන ලයින් එකෙන්. 😆


​උදේ කෑමෙන් පස්සේ මමයි අම්මයි නංගියි  කුස්සියට වෙලා දවල් කෑම ලෑස්ති කරන්න ගත්තා.

නැන්දම්මා  ඔලුව දාල ​"නංගී.. ඔයාලා ඉතින් ආපු එකේ මම කිව්වේ දුවට කුකුල් මස්  ටිකක් එහෙම හදන්න කියලා"

" අපේ ගෙවල්වල නම් ඉතින් නෑදෑයෙක් ආවාම මස්, මාළු නැතුව කෑමක් ලෑස්ති වෙන්නේම නැහැ," කියලා කිව්ව.

අපේ අම්මා හිනාවෙලා, "අනේ අක්කේ කුකුල් මස් නං ඉතින් හැමදාම කනව ඇතිනේ."

"මහත්ත ඊයේ තෝර මාළු ටිකකුයි, ඉස්සෝ ටිකකුයි ගෙනත් දුන්නා පුතත් ආස නිසා"

" මම ඒකයි දුවට කිව්වේ අද තෝර මාළු බැදුමක්  එක්ක, ඉස්සෝ කිරට උයලා, වත්තේ කිරි අල කොළ මැල්ලුමකුත් හදමු කියලා," කිව්වා. 🍤


​"අනේ.. ඔව්.. තෝර මාළු ගුණයි. දැන් ඉතින් මාළු මිලත් අහස උසටනේ," කියලා නැන්දම්මා ශේප් එකේ සාලෙට ලිස්සුවා.


​දවල් කෑම මේසේ ලෑස්ති කරාම මුළු ගේම සුවඳයි. හැමෝම මේසේ වාඩි වෙලා කෑමට ලෑස්ති වෙනකොට හස්බන්ඩ් ආව අද වේලාස්සනින් පොඩි නිවාඩුවක් අරගෙන. 


හස්බන්ඩ් ව දැක්ක විතරයි නැන්දම්මා “ඔන්න පුතේ මං ඔයාගෙ නැන්දම්මටයි, මාමණ්ඩියටයි, නෑනටයි සුපිරිම සංග්‍රහයක් ලෑස්ති කලා” කිව්ව.

අපි හතරදෙනාම ඒ කතාවට මූණෙන් මූණ බලාගනිද්දි,නංගි මොනව හරි කියන්න කට ඇරියත් තාත්තගෙ රැවිල්ලට බයේ බිම බලාගත්ත.🥺


මට තාම ඒ තරම් සනීප නැති නිසා අම්මල නංගිව තියල ගියා දවස් දෙකතුනකට එයාට මේ දවස්වල කැම්පස් එකෙත් නිවාඩු නිසා.


​හවස අපි සාලේ වාඩි වෙලා තේ බිබී පරණ ඇල්බම් වගයක් බල බල ඉන්න වෙලාවෙ නැන්දම්මා සුපුරුදු "ඕපනින් ස්පෙල්" එක පටන් ගත්තා. නංගි ඇදගෙන හිටපු කොට කලිසම දිහා උඩ ඉඳන් පල්ලෙහාට බලපු නැන්දම්මා,


​"අනේ මන්දා මේ කාලේ ගෑණු ළමයින්ගේ ඇඳුම්. අපේ කාලේ අපි දණහිසෙන් පල්ලෙහාට දිගට ඇඳලා, හැදියාවට හිටියා. දැන් ඉන්න ළමයින්ට ඉතින් රෙදි ගන්න සල්ලි නැතුවද මන්දා මෙහෙම අඳින්නේ,"

කියලා මටයි නංගිටයි දෙන්නටම එක පාර වක්‍ර ප්‍රහාරයක් එල්ල කරා. 🧐


​මම ඉතින් නංගි දිහා බලලා "ඩිෆෙන්ස්" පාරක් දාන්න හදද්දීම, නංගි "ෆ්‍රන්ට් ෆුට්" එක තියලා සුපිරි "සික්සර්" එකක් ගැහුවා.


“එතකොට ඇන්ටි, මේ අඩියක්වත්  දිග නැති සායක් ඇදගෙන ඉන්නෙ ඇන්ටි නෙමෙයිද ? මේ අය්ය දැන් කිව්වෙ ඒ ඇන්ටියි කියලනෙ"

"පව් ඉතින් ඒ දවස්වල ඇන්ටිලට රෙද්දක් ගන්නවත් සල්ලි තිබිල නැති පාටයි. නැත්තන් ඉතින් මෙහෙම අදින එකක් නෑනෙ”

කියල නැන්දම්මගෙ  තරුණ කාලෙ ෆොටෝ එකක් පෙන්නල කිව්වෙ කටේ දිවේ නොගෑවී.


​නැන්දම්මාගේ මූණ එකපාරටම අඟුරු කෑල්ලක් වගේ වුණා. තේ උගුර හිරවෙලා කැස්සත් එක්කම, "මේ ළමයින්ට වැඩිහිටියන්ට කතා කරන්න තේරෙන්නේ නෑ," කියාගෙන කාමරේට මාරු වුණා. 😂


​අද ලේලිගේ අම්මා ආපු මැච් එකේ ස්කෝර් එක:

​ලේලිගේ පාර්ශවය : සුපිරි "හෝම් ග්‍රවුන්ඩ් " වාසියත් එක්ක, රස පදමට සංග්‍රහ කරලා, වචනවලින්ම "හැට්‍රික්" විකට්ගත්තා.

​මහත්තයා: අදත් බිරිඳගේ පැත්තේ "චියර් ලීඩර්" කෙනෙක් වගේ හිනාව තද කරගෙන උපරිම සතුටින් කෑම වේල භුක්ති වින්දා.

​නැන්දම්මා: අනවශ්‍ය දේවල් කීමට ගොස් මිඩ් විකට් ම දැවී ගියා


( ලේලිගේ දිනපොත ගැන ඔයාලගෙ අදහස් දැනගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නව )


Next Episode 👇

https://muthuwrites43.blogspot.com/2026/06/14-by-muthuwrites.html


Previous Episode 👇

https://muthuwrites43.blogspot.com/2026/06/12.html











Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 12 නෑදෑ ගමන ( හාස්‍යයට පමණි ) - by Muthuwrites

ලේලිගේ දිනපොත - 14 සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම ( හාස්‍යයට පමණි ) - by Muthuwrites