ලේලිගේ දිනපොත - 14 සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම ( හාස්‍යයට පමණි ) - by Muthuwrites

° පළවෙනි පරිච්ඡේදය :


fun sinhala diary by Muthuwrites, funny diary image ,

නංගිට යන්න ඉස්සරින් බඩු වගයක් ගන්න තියනව කියල අපි ටවුන් එකට යන්න ලෑස්ති වෙලා නැන්දම්මට කිව්ව.

"අනේ මන්දා මේ කාලේ ළමයින්ට සල්ලි තියෙනවට වඩා වියදම් කරන්නමයි හිත.

අපේ කාලේ අපි පියසේන මුදලාලිගේ කඩෙන් රුපියල් පහට තුනට සේරම කළමනා ටික ගෙනල්ලා මාසයක් පිරිමසා ගත්තා.

දැන් ඉතින් එයාර් කන්ඩිෂන් අස්සෙ කරත්ත තල්ලු කර කර සෝබනේට බඩු ගන්නවා," කියලා නැන්දම්මා සුපුරුදු පරිදි මට වක්‍ර ප්‍රහාරයක් එල්ල කළා. 🙄

​මම ඉතින් මොකුත් නොකියා හිනාවෙලා, "අනේ නෑ අම්මේ, ගෙදර බඩු ඉවර නිසයි යන්නේ," කියලා නංගිවත් ඇදගෙන කාර් එකට නැග්ගා.

​හැබැයි ඉතින් අරෙහෙම කිව්වට මොකද, දුවන කාර් එකට පැනලා හරි "ෆ්‍රී රයිඩ් " එකක් යන්න නැන්දම්මා මාර ආසයි.

අපි යන්න හදද්දීම, "හිටපන් දුවේ, මටත් අර දණහිස් අමාරුවට ගාන තෙල් කුප්පියක් ගන්න ඕනේ, මාත් එන්නම්," කියාගෙන නැන්දම්මාත් පිටිපස්සේ සීට් එකට ගොඩවුණා. 🚗

“ඇන්ටිගෙ ඔය දණහිස් අමාරුවත් එක්ක ඉතින් ඇන්ටිට යන්න පුලුවන්ද ?” කියල නංගි අහද්දි,  නැන්දම්මා “මගෙ වැඩ ඉතින් මංම කරගන්න එපායෑ ළමයො” කිව්ව.

මම නම් මොකුත් කිව්වෙ නැහැ. මොකද මම දන්නව කවුරු කොහොම දැන් ඔලුවෙන් හිටගෙන කිව්වත් නැන්දම්මාව නවත්වන්න බෑ කියල. ඒක නිසා මම අඩියක් පස්සට ගත්ත

​අපි තුන්දෙනාම ටවුන් එකේ තියෙන ලොකු සුපර් මාකට් එකට ඇතුළු වුණා.

ඇතුළට ගිය ගමන් AC හුළඟ වදිද්දී නැන්දම්මාගේ "සෝබන" කතාව අමතක වෙලා මූණ "ෆ්ලෑෂ් " වුණා.

​මමයි නංගියි ට්‍රොලි එක තල්ලු කරගෙන ඉස්සරහට යද්දී, නැන්දම්මා "ෆ්‍රී ටේස්ටින් ” එකක් ළඟ නතර වුණා.

එතන හිටපු ගෑණු ළමයෙක් අලුත් ඩයට් බිස්කට් ජාතියක්  දීලා, "මැඩම්, මේක සීනි කන්න හොද නැති අය සඳහා විශේෂයෙන් හදපු එකක්," කියලා කිව්වා.

​නැන්දම්මා ඒකෙන් කෑලි තුන හතරක් එක පාර කටේ ඔබාගෙන, "සීනි නැති වුණාට රසයිනේ " කියලා තව එකක් ගන්න හදද්දීම, නංගි "ෆ්‍රන්ට් ෆුට්" එක තියලා  "බවුන්ඩ්‍රි" එකක් ගැහුවා!

​”ඇන්ටි ඉස්සර පියසේන මුදලාලිගේ කඩෙත් මෙහෙම නොම්ලේ මොනව හරි දුන්නද බඩු ගන්නකොට ?" කියලා නංගි හෙන අහිංසක විදිහට ඇහුවා. නිකං

බිස්කට් දීපු ගෑණු ළමයටත් හිනා, නැන්දම්මා බිස්කට් කෑල්ල උගුරේ හිරවෙලා වගේ මූණ ඇඹුල් කරගෙන ඉස්සරහට ඇදුණා.

​ප්‍රධාන මැච් එක පටන් ගත්තේ කොස්මැටික්ස් තියෙන තැනට ආවාමයි. 💄

​නංගි එයාට ගැලපෙන ෆේස් වොෂ් එකකුයි, බොඩි ලෝෂන් එකකුයි තෝරනවා දැකපු නැන්දම්මා, මට ඇහෙන්න මෙහෙම කිව්වා:

​"අනේ මන්දා, මේ දැන් ඉන්න ළමයින්ගේ නාස්තිය. මූණේ ගාන්න විතරක් රුපියල් දහස් ගණන් වියදම් කරනවා.

අපේ කාලේ අපි වත්තෙන් පිච්ච මල් ටිකක් නෙළලා පොල්තෙල් ටිකක දාලා හිසේ ගෑවා. මූණට කහ කෑල්ලක් උලුවස්සේ අතුල්ලා ගෑවා.

ස්වාභාවික සිරියාව තිබුණා. දැන් ඉන්න උන් මේ සල්ලිවලින් රසායනික ද්‍රව්‍ය ගන්නවා මූණේ ගාන්න," කියලා නැන්දම්මා තොල් මතුරා ගත්තා.

​නංගි එකපාරටම එයාගෙ ට්‍රොලි එකේ තිබ්බ "ඇන්ටි එජින් ඇන්ඩ් ඇන්ටි ව්‍රින්කල් ක්‍රීම්"එකක් අතට ගත්තා. 💸

​නංගි ඒක නැන්දම්මාගේ අතට දීලා "හුක් ෂොට්" එකකින් සික්සර් එකක් ගැහුවා!

“අයියෝ !  මම මේක ගත්තෙ ඇන්ටිට තෑග්ගක් විදිහට දෙන්න.  ඇන්ටිගෙ හමටත් හොද නිසා දැන් වැඩක් නෑනෙ. ඇන්ටි මේව ගාන්නෙ නෑනෙ. මම තියනව ආයෙ”

කියද්දි නැන්දම්මගෙ මූණ තිබුනෙ “අ-යි-යෝ මගෙ කට” වගේ මූඩ් එකක.☹️

කොහොම හරි බඩු අරගෙන ගෙදරත් ආවට පස්සෙ මට මතක් වුනේ නැන්දම්මා දණිස් අමාරුවට තෙල් ගන්නයි කියල තකහනියක් අපිත් එක්ක ගියාට ගත්තෙ නෑ නේද කියල.

මම ඉතින් ඇහුව “ අම්ම අපිත් එක්ක ගියේ දණිස්සට ගාන්න තෙල් ගන්න නේද අම්මෙ, තින් ගත්තෙ නැහැනෙ” කියල.

එතකොට “දැන්ද මතක් කරන්නෙ???" කියල නැන්දම්මා කාමරේට රිංග ගත්තෙ නංගියි, මමයි මූනෙන් මූණ බලා ගනිද්දි.🥺🙄•••

එකදිගට නංගිගෙ දැඩි වේග පන්දු ප්‍රහාරයන්ට මුහුණ දෙමින් කරට කර ඉනිමක් ක්‍රීඩා කල නැන්දම්මා,

 අවසානයේ තුන්වන විනිසුරුවරයාටවත් හරියටම තීරණය කල නොහැකි ආකාරයේ LBW එකකින් දැවී ක්‍රීඩාගාරයට විසි වුනා.


° දෙවෙනි පරිච්ඡේදය :

Fun sinhala diary by Muthuwrites, funny diary image ,

නංගිත් ආයෙ ගෙදර ගිහින් දැන් ආයෙ සුපුරුදු විදිහට තමයි දවස ගත වෙන්නෙ. අද උදෙන්ම නැගිටල ඉව්ව. 

පුදුමයි නැන්දම්මා ආවෙ නැහැ කුස්සියට .

ඒත් උයල ඔක්කොම වැඩ ඉවරවෙලා හස්බන්ඩ් ගෙ කෑම පෙට්ටියට කෑම දාද්දි මෙන්න එනව නැන්දම්මා.

ඔක්කොම කෑම වල මූඩි උස්ස උස්ස බලන්නෙ වැරැද්දක් හොයාගන්න කියල මම හොදටම දන්නව. 

“දුව මේ…. “ කියල ආමන්ත්‍රණය කරද්දිම මම දන්නව එන්නෙ මැච් එකකට ටොස් එක දාන්න තමයි කියල

“දුව මේ….. පුතාට ඔෆිස් ගෙනියන පරිප්පු එකට ඇයි නිවිති දැම්මෙ. නින්ද යනවනෙ එහෙම කෑවම”

කියල මම කවදාවත් අහල නැති පන්දුවක් දැම්ම එතකොටම හස්බන්ඩ්   එතනට ආව කෑම එක හරිද බලන්න.

“ආනේ ඇත්තද අම්මෙ ??🤔 මම කවදාවත් එහෙම දෙයක් අහල තිබුනෙ නැහැනෙ.”

“හැබැයි අම්මෙ ඔයාගෙ පුතාට ඔෆිස් එකේදි නින්ද යන්න පරිප්පු වලට නිවිති දාල කන්න ඕනෙ නැහැ."

"ඔය රෑ තිස්සෙ ඇහැරගෙන ෆෝන් බලන විදිහට ඔෆිස් එකේ නිකන්ම නින්ද යනව ඇති”

කියල මම කියද්දි, අම්ම දිහාත් බලපු හස්බන්ඩ් , කෑම පෙට්ටියත් අරගෙන එතනින් ගියා නෙමෙයි විසිවුනා.🤣

අද මම හාෆ් ඩේ, වර්ක් ෆ්‍රොම් හෝම් හිටියෙ හැන්දෑවෙ මගෙ රට ඉන්න හොදම යාලුවෙක්  ලංකාවට ඇවිල්ල මාව බලන්න එනව කිව්ව නිසා.

හැන්දෑවෙ තුන වගේ වෙද්දි යාලුව ආව.

අපි ආගිය විස්තර කතා කර කර තේ එහෙම බීල ඉන්නකොට, හොද නින්දක් නිදාගෙන ඉදල නැගිට්ට නැන්දම්මා එතනට ආව.

යාලුවට මහන්සි හැදෙනකල්ම 'ඒ ටු ඉ‍‍‍සෙඩ්' යාලුවගෙ විස්තර ඇහුව නැන්දම්මා

“ඉතින් දරුවො ඔයාගෙ හස්බන්ඩ් ඔයා මේ තරම් දුරක් තනියම ලංකාවට එනවට කැමති උනාද” කියල ඇහුවෙ වික්ෂෝපෙන් අතත් නිකටෙ තියාගෙන.

ඔව් ඇන්ටි ඉතින් මට නිවාඩු ලැබුන වෙලේ මම ආව. තාත්තට සනීප නැති නිසා බලල යන්න. මෙයාගෙ වෙඩින් එකට මට එන්න බැරි වුන නිසා මෙයාව බලන්න ආවෙ.”

යාලුව කියද්දි නැන්දම්මා තවත් හයේ පාරක් ගහන්න ලෑස්ති උනා. “ ආ දරුවො ඉතින් ඔයාගෙ නැන්දම්වත් ඔය ළමයට මෙහෙම තනියම යන්න එපා කිව්වෙ නැද්ද?"🤔

ලොකු වැරැද්දක් හදන්න වගේ නැන්දම්මා අහද්දි, “අනේ නෑ ඇන්ටි, මගෙ නැන්දම්මට ඕව හොයන්න වෙලාවක් නැහැ, එයා ජොබ් එකක් කරනවනෙ"

වෙලා තිබුනත් එයා අපේ පවුලෙ දේවල් වලට ඇගිලි ගහන්න එන්නෙ නැහැ”

කියල යාලුව කටේ දිවේ නොගෑවෙන්න කියද්දි නැන්දම්මාගෙ මූණ කරත්තෙට අහුවුන කජු ලෙල්ලක් වගේ උනා.

ඉක්මනින් සෝෆා එකෙන් නැගිටගත්ත නැන්දම්මා  “ මගෙ මේ කොන්දෙ කැක්කුමක් තියනව. වැඩිවෙලා ඉදගෙන ඉන්න බැහැ, මම කාමරේට යන්නම්” කියල ගියා නෙවෙයි දිව්ව.

තමන්ගෙ අම්ම දාපු බෝලෙකින් උදේ පාන්දරම හස්බන්ඩ් අවුට් වෙලා යද්දි ,

හැන්දෑවෙ හයේ පාරක් ගහන්න ගිහින් යාලුවගෙ කැච් එකකින් නැන්දම්මා දැවිලම ගියා 😅


( ලේලිගේ දිනපොත ගැන ඔයාලගෙ අදහස් දැනගන්න මම ගොඩක් කැමැත්තෙන් ඉන්නව )

Next Episode 👇

Previous Episode 👇


Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම ( හාස්‍යයට පමණි ) - by Muthuwrites

ලේලිගේ දිනපොත - 12 නෑදෑ ගමන ( හාස්‍යයට පමණි ) - by Muthuwrites