ලේලිගේ දිනපොත - 33 : නීති උපදෙස්

නීති උපදෙස් පැතීම

Lelige Dinapotha - 33 : ලේලිගෙන් නැන්දම්මගේ යෙහෙළියන් නීති උපදෙස් ගැනීම.

නැන්දම්මගෙ නිරීක්ෂණය 

දැන් දවස් තුනහතරකට ඉස්සරින් මගෙ හොදම යාලුවෙකුට ප්‍රශ්නයක් වෙලා මගෙන් නීති උපදෙසක් බලාපොරොත්තු වුනා. 

ඉතින් මම එයත් එක්ක කතා කලේ ගෙදරදි සාලෙ ඉදගෙන. මම දැක්ක නැන්දම්ම මම කතා කරනව  බොහොම උනන්දුවෙන් බලන් ඉන්නව.

මම යාලුවත් එක්ක කතා කරල ඉවර වුනාම නැන්දම්ම මගෙ ලගට ඇවිල්ල ඇහුව,

“ආ දුවේ, දැන් දුවේ ඔය ඕන කෙනෙකුගෙ ප්‍රශ්න වලට නීතියෙන් උත්තර තියනවද” කියල 

“ඔව් අම්මෙ ඉතින් ගොඩක් දේවල් නීතියෙන් විසදගන්න පුලුවන්” කියල මම උත්තර දුන්න.


යෙහෙළියන්ගේ පැමිණීම 

අද මම ගෙදර ඉදල වැඩ කරන දවසක්.දවල් මම වැඩ කර කර ඉන්නකොට මට ඇහුන ගෙදරට කවුරු හරි ආව කියල. 

ටික වෙලාවකින් කාමරේ දොරට ගගහ නැන්දම්මා “දුවේ දුවේ පොඩ්ඩක් එලියට එන්නකො” කියල කිව්ව.

එළියට ඇවිත් බලද්දි නැන්දම්මාගේ යාළුවෝ දෙන්නෙක් පුටුවල වාඩිවෙලා ඉන්නව.

“දුව අදුරනවනෙ මේ මගෙ යාලුවො දෙන්නෙක්. එයාල ඇවිල්ල ඉන්නෙ දුවව හම්බුවෙන්න” කියල නැන්දම්ම කියනව.

“මාව ඒ මොකටද??” කියල හිනාවෙලා මම ඇහුවෙ නැන්දම්ම ඒ ගමන සෙල්ලම් කරන්න යන මැච් එක මොකක්ද කියල හිතන ගමන්.

ඊට පස්සෙ නැන්දම්මා හරි ආඩම්බරයෙන්

“මේකයි දුවේ, මෙයාලට ඔයාගෙන් පොඩි දේවල් ටිකක් දැනගන්න තියනව” කියල නැන්දම්ම කියද්දි, ඒ එක ඇන්ටි කෙනෙක් කිව්ව,

“ඔව් දුව, මෙයා අපිට පෝය දවසෙ කිව්ව දුව නීති උපදෙස් දන්න නිසා දුවගෙන් ඇවිල්ල මේව ගැන දැනගන්න පුලුවන් කියල” කියද්දියි මට වැඩේ තේරුනේ.

මම නැන්දම්මා දිහා බැලුවා. අද මගේ නීති කාර්යාලයේ ඕපනින් සෙරමනි එකක් මට නොකියාම නැන්දම්ම  පටන් අරගෙන වගේ.

ඒ ඇන්ටි මගේ දිහා බලලා,

“අනේ දුවේ, පොඩි දෙයක් අහන්න පුළුවන්ද?” කියල ඇහුව.

මමත් ඉතින් “පුළුවන් ඇන්ටි, දන්න විදිහට කියන්නම්.” කිව්ව.


ඉඩමේ අයිතිය

“අපේ ගමේ ඉඩමක් තියෙනවා. ඒක මගේ මහත්තයාගේ නමට. ඒක බලාගත්තෙ මහත්තයගෙ මල්ලි. අපි දැන් සල්ලි වුවමනාවක් වෙලා ඒක විකුණන්න ලෑස්ති වුනා”

“ඒත් මහත්තයගෙ මල්ලි කියනව දැන් අවුරුදු ගානක් තිස්සෙ බලාගත්ත දැන් ඒ වත්ත අයිති එයාට.කියලා. එහෙම වෙන්න පුලුවන්ද දුව” කියල තමයි ඒ ඇන්ටි ඇහුවෙ.

මම,“නැන්දේ, ඒක තීරණය කරන්න ගොඩක් දේවල් ගැන බලන්න වෙනවා.” කියද්දි 

ඒ ඇන්ටිගෙ මූණ එකපාරටම බරපතළ වුණා.

“ඒ කියන්නේ අපි එයාට ඉඩම දෙන්න ඕනද??”

“නෑ ඇන්ටි එහෙම නෙමෙයි…….” කියල මම තේරුම් කරල දෙන්න හදද්දිම ආයෙත් ඒ ඇන්ටි

“එහෙනම් දෙන්න ඕනෙ නැද්ද??” කියල ආයෙ මැදින් පැන්න.

“මෙහෙමයි ඇන්ටි…..”  කියල ආයෙ තේරුම් කරන්න යද්දි නැන්දම්ම මැදින් පැනල 

“ඒක හරි වැඩක්නෙ දුවේ, මේක මේ මිනිස්සුන්ගෙ ඉඩමනෙ. එහෙම කොහොමද කවුරුවත් ඒක අයිතිකරගන්නෙ??”

කියල කිව්වෙ හරියට ඒ ඉඩම මං බලහත්කාරෙන් ගන්න යනව වගේ.

මම නැන්දම්මා දිහා බැලුවා. ඊට පස්සෙ “අම්මෙ ටිකක් ඉවසීමෙන් අහගෙන ඉන්නකො, මම මේක තේරුම් කරල දෙනකං”

කියල මම ඒ ඇන්ටිට ඉඩම ගැන තියන නීතිමය තත්ත්වය තේරුම් කරල දුන්න.


පාරේ අයිතිය

ඊට පස්සෙ අනිත් ඇන්ටි

“දුවේ, මටත් ප්‍රශ්නයක් තියෙනවා.” කිව්ව 

“කියන්න ඇන්ටි” කියල මම කියද්දි 

“අපේ ගෙදරට එන පාරෙ තව ගෙවල් දෙකක් තියනව. ගොඩක් වෙලාවට  කවුරුහරි ඒ පාරෙ වාහන නවත්තගෙන ඉන්නව යන්න එන්න බැරිවෙන තරමටම”

“ඇහුවම කියන්නෙ ඒ පාර එයාලට අයිතියි. වාහන නවත්තගෙන ඉන්නත් පුලුවන් කියල. එහෙම කරන්න පුලුවන්ද දුව” කියල ඇහුව.

“එහෙම කරන්න කොහොමටවත් බැහැ ඇන්ටි. පොදු පාරක් අවහිර වෙන විදිහට වාහන නවත්වන්න කාටවත්ම අයිතියක් නැහැ” කියල මම කිව්ව.

එතකොට ඒ ඇන්ටි අහනව “අනේ දුවේ, ඔයාට ඇවිල්ල ඒ ගැන එයාලට කියන්න බැරිද” කියල 😳

මේ අහක යන මොන හෙණයක්ද මට පාත් වෙන්න එන්නෙ කියල හිතන ගමන් මම කිව්ව

“අනේ ඇන්ටි මම කොහොමද එහෙම කරන්නෙ. ඔයා ඒ අය කියන දේ අහන්නෙ නැත්තං ඉස්සරින් ගිහින් ග්‍රාමසේවකට පැමිණිලි කරන්න” කියල.


මහත්තයගෙ අදහස

ඊට පස්සෙ මම කිව්ව “අනේ ඇන්ටි මම මේ ඉන්නෙ ඔෆිස් එකේ වැඩ කරන ගමන් මම එහෙනං යන්නං” කියල ඉක්මනින් ඇවිල්ල කාමරේ දොරත් වහගත්ත.

දැන් මහත්තයට වුන දේ කියද්දි එයා හොදටම හිනා වෙවී……

“බබා ඔයාට ඔය මැච් එක නම් දිගටම සෙල්ලම් කරන්න වෙයි. අම්ම ඔයාගෙන් මුලු ගමටම නීති උපදෙස් අරං දීල තමයි නවතින්නෙ” කිව්ව.

මේ මොන අටමගලයක්ද මට පාත් වුනේ කියල මට හිතුන. ඉතින් දැන් යනව නිදියගන්න. හෙට උදේට ඔෆිස් යන්නත් තියනව.


<< ලේලිගේ දිනපොත පෙර කොටස 

Muthuwrites සියලුම කතාංග කියවන්න මෙතනින් පිවිසෙන්න   



Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම