ලේලිගේ දිනපොත - 33 : නීති උපදෙස්
මම කුස්සියට යනකොට ලොකු වතුර එකකුත් ලිපේ තියල බලන් ඉන්නව.
”අපේ කාලෙ නම් අපි පස්ස පැත්තට අව්ව වැටෙනකං කවදාවත් නිදියගත්තෙ නැහැ……” කියල ‘ඕපනින් ස්පෙල්' එක පටන් ගනිද්දිම මම කිව්ව
“ අම්මෙ අර පියසීලී ඇන්ටිලගෙ ගෙදරින් නේද මොකක්ද සද්දයක් ඇහෙන්නෙ” කියල, නැන්දම්මා බොහොම උනන්දුවෙන් ඒ පැත්තට ගියා.
ඊට පස්සෙ උදේ තේ හදල බීල, කෑම කාල එහෙම ඒව අස්පස් කරල දවල්ට කන්න රසට කුකුළු මස් වෑංජනයක් එක්ක, පරිප්පුයි, පොල් සම්බෝලයි හැදුවා.
මස් හොද්දේ සුවඳ මුළු ගේ පුරාම විහිදිලා තිබුණේ.
ඊට පස්සෙ රෙදි ටික වන වන ඉන්නකොට මෙන්න සාලෙන් ඇහෙනවා නුපුරුදු හඬක්.
බලද්දි නැන්දම්මාගේ බාල නංගි ඇවිල්ල අක්කව බලන්න. කියන්නෙවත් නැතුව එකපාරම කඩන් පාත්වෙනව අනේ මං දන්නෙ නැහැ 😏
නැන්දම්මාට වඩා ටිකක් ‘අප්ඩේට්’ වෙච්ච, අලුත් විදිහට හිතන කෙනෙක් වුනාට මොකද ඕපදූප හොය හොය අනුන්ගෙ ජීවිත ඇතුළට හොට දාන්න බලන් ඉන්න තවත් 'අතිරේක ක්‍රීඩිකාවක්'.
නැන්දම්මා හිටියෙ පුදුම සන්තෝසෙකින් එයාගෙ නංගිව දැකල. අක්කගෙයි නංගිගෙයි කට කනේ සංතෝසෙට.
ඇයි අද දෙන්නගෙම කටේ හිරි ඇරගන්න පුලුවන්නෙ දෙන්නගෙම තියන ඕපදූප ටික කියවල.
දෙන්නත් එක්ක සාලෙට වෙලා සුපුරුදු ඕපදූප ටික පටන් ගත්තා.
සමස්ත නෑදෑ පරපුරේම රෙදි අපුල්ලන්නට පටන් ගත්ත එයාල දෙන්න ටික වේලාවක් යද්දී එකිනෙකාගේ පවුල් වල පම්පෝරිය ගහන්න පටන් ගත්තා.
හස්බන්ඩ් සෝෆා එකේ වාඩි වෙලා, ටීවී එකේ මැච් එකක් බලන ගමන් හිටියේ.
මම හැමෝටම බොන්න රසට ඉඟුරු තේ හදලා සාලෙට ගෙනිහින් දුන්නා.☕
පුංචි තේ උගුරක් බීලා, මස් හොද්දේ සුවඳ ඉව කරලා වගේ මට ඇහෙන්නම නැන්දම්මාට මෙන්න මෙහෙම කියනවා….
“අනේ අක්කේ... ඔයාගේ ලේලි උයන පිහන වැඩ නම් හොඳට කරනවා වගේ. සුවඳ මුළු පළාතටම ගහනවා."
"හැබැයි ඉතින්... මගේ පුතාගේ නෝනා නම් හැම සති අන්තෙකම පුතාවත් එක්කගෙන එළියට ගිහින් රෙස්ටුරන්ට් එකකින් කාල ටිකක් ඇවිදල කරල එනව" 💑
"පවුල් ජීවිතේට එහෙම සතුටකුත් තියෙන්න ඕනේ අනේ. හැමදාම කුස්සියටම වෙලා හිටියම පිරිමින්ට එපා වෙනවා"
"ඔයාගේ පුතාට ඉතින් එහෙම සතුටක් නැතුව ඇති නේද? මේ ඉරිද වෙලත් ලේලි පුතයි ගෙදරටම වෙලා ඉන්නෙ.” කිව්ව.
පුංචි දැම්මේ ලේසි බෝලයක් නෙමෙයි.
"ලේලි උයන්න විතරයි දන්නේ, පවුල් ජීවිතේ සතුටක් නැහැ" කියලා හැමෝම ඉස්සරහම මාව පහත් කරන්නයි හැදුවේ.
නැන්දම්මාත් ඉතින් නංගිගෙන් ලකුණු දාගන්න, හිනාවක් දාල මෙහෙම කිව්ව….😊
“ලේලිට ඉතින් ඔය රස්සාවත් එක්ක ඔය වගේ දේවල් ගැන හිතන්න වෙලාවක් නැහැනේ අනේ."
"එයාල ඉතින් නිවාඩු දවසටත් ගෙදරටම වෙලා ඉන්න තමයි කැමති”
මට හිතුන මේ සෙට් වෙන්නම ඕනෙ මැච් එකක් කියල.මම හරිම අහිංසක විදිහට හිනාවෙලා පුංචි ළඟින් වාඩි වුණා.🙂
“අනේ පුංචි….අම්ම කියන්නෙ ඇත්ත තමයි."
"එයා පොඩ්ඩක්වත් කැමති නැහැ මම සතියක්ම මහන්සි වෙලා වැඩට ගිහිල්ල වීකෙන්ඩ් එකෙත් මහන්සි වෙන්න කොහෙ හරි යනවට”
“අපි දෙන්න වීකෙන්ඩ් එකක කොහෙ හරි යන්න ලෑස්ති වුනොත් අම්ම එයාගෙ අසනීපයක් කියල, අද මැරෙයි වගේ පෙන්නල අපි යන එක නතර කරන්නෙ ඔය ගමන් ගිහිල්ල මම මහන්සි වෙයි කියල මට ආදරේට කියල මම දන්නව."
"බලන්න කොයි තරම් හොද නැන්දම්මා කෙනෙක්ද කියල” මම කිව්වෙ හරිම අහිංසක විදිහට.
පුංචිගේ ඇස් දෙක උඩ ගියා. නැන්දම්මාගේ මූණ එකපාරටම අඟුරු කෑල්ලක් වගේ වුණා.
මම එතනින් නැවතුණේ නැහැ. හස්බන්ඩ්ව 'ක්ලීන් බෝල්ඩ්’' කරන්න තව සුපිරි බෝලයක් දැම්මා:🏏
“මෙයත් ඉතින් මාව කොහෙවත් ගෙනියල මහන්සි කරවන්න වැඩියෙ කැමති නැති නිසා මගෙ හිත රිදෙන්නෙ නැති වෙන්න
'බබා, අම්ම මෙහෙම අමාරුවෙන් ඉන්නකොට අපිට කොහෙවත් යන්න බැහැනෙ බබා දැන්. අපි වෙන දවසක යමුකො පැටියෝ'
"කියල ඒ ගමන කල් දානව. බලන්න ඒත් මොන තරම් හොද හස්බන්ඩ් කෙනෙක්ද”
කියල මම කිව්වෙ තවත් බොහොම අහිංසක විදිහට.😔
හස්බන්ඩ් හිමින් සැරේ සෝෆා එකෙන් නැගිටලා මැච් එක බලන එකත් නතර කරල,
“අනේ, මට අත සෝදන්න අමතක වුණානෙ” කියාගෙන වොෂ් රූම් එක පැත්තට දිව්වා.🏃
නැන්දම්මා වෙනදා වගේම “මගේ මේ ඔළුව කැක්කුමයි වගේ, මම බාම් ටිකක් ගාගන්න කාමරේට යන්නම්” කියාගෙන සාලෙන් මාරු වුණා.
පුංචි කසාය බීපු ගොලුවෙක් වගේ හැමෝගෙම දිහා බල බල හිටිය.
පුංචි අම්මා දාපු 'පවුල් ජීවිතේ සතුට’' බෝලෙන් හස්බන්ඩ්ව 'හිට් විකට් ' කරලා,
නැන්දම්මාවයි, පුංචිවයි දෙන්නවම 'ඩක් අවුට්’ කරපු සතුටට,
ඉතිරි තේ ටික බිබී මම ටෙලිවිෂන් එකේ ගිය මැච් එක බැලුව . 🥳
Comments
Post a Comment