ලේලිගේ දිනපොත - Episode 01 ( හාස්‍යයට පමණි ) - by Muthuwrites
° පළවෙනි පරිච්ඡේදය :
ඇහැරුණා. හැබැයි ඇඳෙන් බැස්සේ නෑ. අද නිවාඩු දවස නිසා තව ටිකක් නිදාගන්න ඕනේ කියලා හිතනකොටම කුස්සිය පැත්තෙන් 'දඩස්.. බිඩස්..' ගාලා වළං බඩු සංදර්ශනයක් ඇහෙන්න ගත්තා.
නැන්දම්මා ඇහැරිලා, සද්දෙන් තේරුණා, අද බිම වැටිලා තියෙන්නේ ලොකු හට්ටියක් කියලා. මට ඒ සද්දෙ ඇහෙන්නෙ නිකන් "දැන්වත් නැ.ගි.ට.පි.ය ලේලි" කියනව වගේ බේරෙන්න බැරි තැන ඇඳෙන් නැගිට්ටා.
මහත්තයා කුස්සියට යන සද්දේ ඇහුණා. මම හෙමින් සැරේ දොර රෙද්ද අස්සෙන් බැලුවා. නැන්දම්මා මහා පරිත්‍යාගශීලී මූණක් දාගෙන මහත්තයට කියනවා,
"අනේ පුතේ.. ලේලිට ඇහැරවන්න එපා, මහන්සි ඇති. මම පොල් රොටි හැදුවා" කියලා. (රොටි ටික දැක්කාම මට හිතුණා ඒකෙන් ගෙවල් බිත්තිත් බඳින්න පුළුවන් කියලා.)😏
මම දවල්ට පරිප්පු උය උයා හිටියේ. එකපාරටම නැන්දම්මා සද්ද නැතුව මගේ පිටිපස්සෙන් මතු වුණා නිකන් හොල්මන් ෆිල්ම් එකක වගේ, ඇවිත් කියනවා,
"අනේ දුවේ, ඔයාලගේ පැත්තේ පරිප්පු තෙම්පරාදු කරන්නෙ නැද්ද? පුතා තෙම්පරාදු කරන්නෙ නැතුව කන්නෙම නෑ" කියලා. මම ඉතින් හිනාවෙලා,
"අනේ අම්මේ, ඔයාගේ පුතාට දැන් හයි කොලොස්ටරෝල් . ඒකයි තෙල් ගතිය වැඩි නොකර හැදුවේ" කිව්වා. නැන්දම්මාගේ මූණ නිකන් තිත්ත කරවිල ගෙඩියක් වගේ වුණා. 😁
මහත්තයා කාමරයට ඇවිත් මට කියනවා, "අනේ පැටියෝ, අම්මා කිව්වා ඔයා අද දවල්ට හරි ආසාවෙන් ඉව්වා කියලා. හැබැයි ලුණු පොඩ්ඩක් වැඩිලු, ඊළඟ පාර බලලා දාන්න" කියලා.
මම කිව්වා, "අනේ ඔව් අනේ, ඔයාගේ අම්මා අද හැදපු රොටි වල ලුණු ගෑවිලාවත් තිබුණේ නෑනේ, ඒකයි මම පරිප්පු එකට ලුණු පොඩ්ඩක් වැඩියෙන් දැම්මේ බැලන්ස් වෙන්න" කියලා. මහත්තය සද්ද නැහැ.
එහා ගෙදර පියසීලි ඇන්ටි ගෙදරට ආවා. දෙන්නත් එක්ක සාලේ ඉඳන් මගේ රෙදි හෝදන මැෂින් එක ගැන විවේචනයක්.
"රෙදි හෝදන මැෂින් දැම්මාම රෙදි දිරනවා අනේ, අපි නං අතින්නෙ හේදුවේ" පියසීලී ඇන්ටි කිව්ව.
අම්ම කියනව “ඒක තමයි කොච්චර කිව්වත් දැන් අයට තේරෙන්නෙ නැහැනෙ” කියල.
මම ඉතින් හිනාවෙලා සාලෙට ගිහින්, "අනේ පියසීලි ඇන්ටි, අම්මා රෙදි දිරන නිසා මෙෂින් එකට දාන්නෙ නැතුව අතින්ම හෝදයි අද ඉදල” කිව්වම නැන්දම්මා පියසීලි ඇන්ටි දිහා බැලුවේ "මාව කා..ප..න්" වගේ බැල්මකින්.😁
දවස ගෙවිල රෑත් උනා.නැන්දම්මා කාමරේ ලයිට් නිවලා නිදාගන්න යනවා ඇහුණා.
අද දවසට මගෙන් 'නෝ බෝල්ස්' තුනයි, නැන්දම්මාගෙන් 'වයිඩ්' බෝල දෙකයි. ස්කොර් එක බැලන්ස්.
හෙට උදේට නැන්දම්මා යන්න කලින් කුස්සියට යන්න එලාම් තියලා මමත් නිදාගන්නවා. 😴
° දෙවෙනි පරිච්ඡේදය :
උදේ 5.30 ට විතර ඇහැරුණා. ඊයේ රෑ එලාම් එක තියපු නිසා නැන්දම්මාට කලින් කුස්සියට යන්න ලැබුණා..
හැබැයි කුස්සියට යනකොට නැන්දම්මා එතන වතුර උතුරවනවා. මාව දැක්ක ගමන් කියනවා, "අනේ දුවේ, ඔයා තව ටිකක් නිදාගන්න , මම මේ තේ ටිකක් හදාගන්නව “කියලා.
මට හිතුණේ අම්ම රෑ 12 ඉදලවත් ඇහැරිලා බලන් හිටියද කියලා කුස්සියට එන්න 😑
මහත්තයා ලෑස්ති වෙලා වැඩට යන්න හැදුවා. නැන්දම්මා දුවගෙන ගිහින් මහත්තයාගේ කමිසයේ කොලර් එක හදලා,
"අනේ පුතේ, ඔයා හොදටම කෙට්ටු වෙලා. දුවේ මහත්තයාට කන්න බොන්න දෙන එකත් හොදට බලල කරන්න ඕනේ" කියලා මට ඇහෙන්නම කිව්වා.
මම ඉතින් ලස්සන හිනාවක් දාලා, "අනේ ඔව් අම්මේ, ඔයාගේ පුතාට දැන් මගේ ආදරේ වැඩිකමට බඩ විතරක් ඉස්සරහට එනවා, ඒකයි කෙට්ටු පාටට පේන්නේ" කිව්වා. මහත්තයා ඉක්මනට බෑග් එකත් අරන් දිව්වා.
හවස මම සාලේ අතුගගා හිටියේ. නැන්දම්මා ටීවී එකේ මෙගා නාට්‍යයක් බලන ගමන්, ඒකේ ඉන්න නපුරු ලේලි කෙනෙක් දිහා බලලා හයියෙන් කියනවා, "අනේ අනිච්චං.. දැන් ඉන්න ලේලිලාට වැඩිහිටියෙක් කිව්වොත් වැරදියි, හැදියාවක් ගෑවිලාවත් නෑ" කියලා.
මම ඉතින් අතුගාන එක නතර කරලා, "ඇත්තමයි අම්මේ.. ඒ වුණාට ඒ නාට්‍යයේ ඉන්න නැන්දම්මා ඊට වඩා හපන් නේද? හැමතිස්සෙම ලේලිගේ වැරදිමයි හොයන්නේ" කිව්වා. නැන්දම්මා එකපාරටම රිමෝට් එක අරන් ටීවී එක ඕෆ් කරලා කාමරේට ගියා. 😁
රෑට මම නූඩ්ල්ස් හැදුවා. මහත්තයා කන ගමන්, "මේ බබා අම්ම කියනව නූඩ්ල්ස් කෑවාම බඩ පුරවා දානවා, රෑට බත්ම තිබුන නම් හොඳයිලු" කිව්වා.
මම ඉතින් මහත්තයාට ඇහෙන්න, "අනේ පැටියෝ, මම අම්මාටම විතරක් රෑට බත් ඉව්ව මේ ඒක ගේන්න තමයි කුස්සියට ගියේ”කියල බත් පිගාන ගෙනල්ල මේසෙ උඩින් තිබ්බ.
මහත්තයා හොරෙන්ම නැන්දම්මා දිහා බැලුවා, නැන්දම්මා නූඩ්ල්ස් පිඟාන දිහා බලාගෙන හූල්ලනවා මම දැක්ක. 🍜
ඔන්න ඉතින් අද දවසත් ඉවරයි. අද ස්කෝර් එක, මගෙන් සිරාවටම වැදුණු සික්සර්ස් දෙකයි.නැන්දම්මාගෙන් රන් අවුට් කරන්න හදපු අසාර්ථක උත්සාහයන් තුනයි.
හෙට නැන්දම්මාගේ යාළුවෝ සෙට් එකක් ගෙදර එනවා කිව්වා. බලමුකෝ හෙට මැච් එකේ ටොස් එක කාටද කියලා! 😴💤
° තුන්වන පරිච්ඡේදය :
අද තමයි ලොකුම මැච් එක. නැන්දම්මාගේ "ඇන්ටිලා සෙට් එක" හවස තුනට විතර කඩාපාත් වුණා.
පියසීලි ඇන්ටිත් ඒකෙ පෙරමුණේම ඉන්නවා. නැන්දම්මා සාලේ මැද ඉඳන් මාව යාළුවන්ට හඳුන්වා දුන්නේ හරියට අලුතෙන් ගත්තු ගෘහ භාණ්ඩයක් ගැන විස්තර කරනවා වගේ.
"අපේ ලේලි ඉතින් රස්සාවත් කරන නිසා ගෙදර වැඩපළවල් ගැන එච්චරම පළපුරුද්දක් නෑ අනේ. මම තමයි ඉතින් හැමදේම හොයලා බලලා කරන්නේ" කියලා නැන්දම්මා කිව්වේ හරිම අනුකම්පා සහගත මූණකින්. 😒
මම ඉතින් හොඳ ලේලි වගේ හැමෝටම සංග්‍රහ කරන්න කුස්සියට ගියා. නැන්දම්මා හදලා තිබුණු අලුවයි, මම හදපු කේක් එකයි අරන් සාලෙට යනකොට නැන්දම්මා කියනවා,
"අනේ මන්දා, දැන් කාලේ ළමයි හදන කෑම කන්නත් බයයි, සේරම පාන්පිටියි සීනියි" කියලා.
මම ඉතින් හිනාවෙලා, "අනේ ඒක හින්දා තමයි මම මේ කේක් එක සීනි අඩු කරලා හැදුවේ. හැබැයි අම්මා හදපු අලුවා එකේ නම් සීනි විතරක් නෙවෙයි පැණිත් බේරෙනවා. අම්මාගේ යාළුවෝ නිසා අම්මා ඔයාලට විශේෂයෙන්ම පැණි වැඩියෙන් දාලා හදල තියෙන්නෙ” කිව්වා.
ඇන්ටිලා සෙට් එකම අලුවා පැත්තකට කරලා කේක් කන්න ගත්තා. නැන්දම්මා මගේ දිහා බැලුවේ මිඩ් විකට් එකට වැදුන බෝලෙකින් අවුට් වෙලා යන බැට්ස්මන් කෙනෙක් වගේ 🍰
කට්ටියගෙ කතාව හිතුවක්කාර ලේලිල ගැන….. අපේ නැන්දම්මත් හරිහරියට කතාවට උල්පන්දම් දෙනව ඇහෙනව.
ටික වෙලාවකින් මම එතනට ගියා කාපු බීපුව අස්කරන්න නැන්දම්මාගේ යාළුවෙක් මගේ දිහා බලලා,
"දුවේ.. ඔයාගේ මේ සාලේ තිර රෙදි වල පාට ටිකක් අඳුරුයි නේද? අපේ ලේලි නම් ගේ පුරාම දාලා තියෙන්නේ ලස්සන ලයිට් කලර්ස්" කිව්වා.
මම නැන්දම්මා ළඟට ගිහින් උරහිසට අතක් තියලා, "අනේ ඔව් ඇන්ටි, මමත් ආස ලයිට් කලර්ස් වලට. ඒ වුණාට අපේ අම්මා තමයි මේ පාටට හරිම ආස. අම්මාගේ කැමැත්තට උඩින් යන්න මට හිතුණේ නෑ" කිව්වා.
“ඔයා නම් හරිම හොද ලේලියෙක් දුවේ. ඔයා අනිත් ලේලිලාටත් ආදර්ශයක්” ඒ ඇන්ටි මට කිව්වෙ මගෙ ඔලුවත් අතගාන ගමන් 🤗
හවස් වෙලා මහත්තයා වැඩ ඇරිලා ගෙදර ආවා. ඇන්ටිලා සෙට් එක යන්න ලෑස්ති වෙන ගමන් මහත්තයට කියනවා,
"පුතේ.. ඔයා වාසනාවන්තයි, අම්මා ගෙදර ඉන්න නිසා ඔයාට හැමදේම වෙලාවට ලැබෙනවා. ලේලිටත් ඉතින් අම්මා ලොකු හයියක්" කියලා.
මහත්තයා හිනාවෙලා මගේ දිහා බලනකොට, මම කිව්වා, "අනේ ඔව් ඇන්ටි, අම්මා ඉන්න එක ලොකු හයියක්. අදත් මේ ඔයාලා එනවා කියලා අම්මා උදේ ඉඳන් කුස්සියේ වැඩ කරලා මහන්සි පාටයි"
"ඒකයි මම රෑට කෑම උයන්න මහත්තයාට කියලා එළියෙන් ගේන්න ලෑස්ති කරේ, අම්මාට නිදහසේ ඉන්න" කියලා.
මහත්තයා එකපාරටම, "ෂා.. ඒක මරු අදහස පැටියෝ, අම්මට අද ඇත්තටම මහන්සි ඇති. මම ඉක්මනට ගිහින් රෑට කෑම අරන් එන්නම්"
කියාගෙන සාලෙන් මාරු වුණා. රෑට උයන්න තිබ්බ වැඩෙත් ශේප්. නැන්දම්මා කරකියාගන්න දෙයක් නැතුව යාළුවෝ දිහා බලලා නිකන් බොරු හිනාවක් දැම්ම.
දැන් වෙලාව රෑ 10යි. අද මැච් එකේ ස්කෝර් එක : මගෙන් ක්ලීන් බෝල්ඩ් කිරීම් දෙකයි.
නැන්දම්මාගේ පැත්තෙන් වැදුණු එක ෆ්‍රී හිට් එකක් මම කැච් එකක් විදිහට බේරගත්තා.බලමු හෙට මොන වගේ පිච් එකක් හැදෙයිද කියලා 😴
° හතරවන පරිච්ඡේදය :
හවස වැඩ ඇරිලා ගෙදර එනකොට මුළු ගේම නිශ්ශබ්දයි. සාමාන්‍යයෙන් මේ වෙලාවට නැන්දම්මා සාලේ ඉඳන් මොනවා හරි උපදෙස් මාලාවක් දෙනවා.
මම හෙමින් සැරේ කුස්සියට ගියා. නැන්දම්මා එතන මහා කල්පනාවක ඉන්නවා. මාව දැක්කාම අහනවා,
"දුවේ, Facebook එකේ මිනිස්සු එක එක දේවල් ලියන්නේ ඇත්තම ඒවද අනේ?" කියලා.මට එකපාරටම හීන් දාඩිය දැම්මා… “මගේ දිනපොතවත් දැකලාද?”😳
මම ඉතින් මුකුත් නොදන්නා ගාණට, "ඇයි අම්මේ එකපාරටම එහෙම ඇහුවේ?" කියලා ලෑස්ති කරපු තේ එකක් නැන්දම්මාට දුන්නා.
නැන්දම්මා තේ උගුරක් බීලා කියනවා, "නෑ මේ.. පියසීලි කිව්වා දැන් ඉන්න ළමයි ගෙවල් වල සිද්ධ වෙන හැම කුණුකන්දලක්ම පේජ් හදාගෙන ලෝකෙටම පේන්න ලියනවලු"
"මං මේ බැලුවේ අපේ ගෙදරත් එහෙම මොනවා හරි ලියන්න තරම් දෙයක් වෙනවද කියලා" මගේ මූණ දිහා කෙළින්ම බලලා ඇහුවා.
මම මොහොතක්වත් හිතන්නේ නැතුව, "අනේ නෑ අම්මේ.. අපේ ගෙදර ලියන්න තරම් දේවල් වෙන්නේ නෑනේ"
"අනික අපේ අම්මා වගේ රත්තරන්, කරුණාවන්ත නැන්දම්මා කෙනෙක් ඉන්නකොට ලියන්න වෙන්නෙත් ගුණ වැයීමක් විතරයිනෙ” කිව්වා. නැන්දම්මා "හ්ම්ම්.." ගාලා තේ එක බොන ගමන් මට ලස්සන "රාජතාන්ත්‍රික හිනාවක්" දැම්මා. 😂
රෑට මම එළවළු සුප් එකක් හදන්න ලෑස්ති වුණා. නැන්දම්මා ළඟට ඇවිත් එළවළු කපන දිහා බලන් ඉඳලා, "අනේ දුවේ, ඔය කැරට් කෑලි ලොකු වැඩියි. පුතා ඔහොම කන්න ආස නෑ. හීනියට කපන්න" කිව්වා.
"අනේ ඔව් අම්මේ, ඔයා කියන එක ඇත්ත. හැබැයි එයා ඊයේ රෑ මට කිව්වා අම්මගෙ සුප් එකේ හැමදාම එකම රහ තියෙන්නේ එළවළු එකම විදිහට කපන නිසා කියලා"
"ඒකයි මම අද වෙනස් ක්‍රමයකට කැපුවේ, එයාට අලුත් රහක් දැනෙන්න" කිව්වා. නැන්දම්මා එකපාරටම, "ආ.. ඒක මිසක්කා.." කියලා සද්ද නැතුවම ගියා (මහත්තයා පව්, හැබැයි යුද්ධයේදී සෙබළුන් බිලිදීමට සිදුවේ)
මහත්තයා රෑ කෑම මේසෙට වාඩි වුණා. සුප් එක බොන ගමන්, "ෂා.. අද සුප් එක මරුනේ අම්මේ" කියලා නැන්දම්මා දිහා බලලා කිව්වා (මහත්තයා හිතුවේ ඒක නැන්දම්මා හැදුවා කියලා).
නැන්දම්මා මගේ දිහා හොරෙන් බලලා, "ඕක හැදුවේ මම නෙවෙයි පුතේ, දුවයි හැදුවෙ. හැබැයි එයා කිව්වා ඔයා මං හදන සුප් හැමදාම එකම රහයි කියලා අලුත් රහක් හොයනවා කියල ” කියමින් බොහොම ශාන්ත වදන් පෙළක් මුදා හැරියා.😌
මහත්තයාගේ උගුරේ සුප් එක හිරවුණා. මම ඉක්මනට වතුර වීදුරුවක් දීලා කිව්ව "අනේ අම්මේ.. මම කිව්වේ මෙයා හැමදාම එකම රහට කන්න කැමති නෑ කියලා විතරයි. ඔයාට වැරදිලා ඇහිලා" කියලා""
මහත්තයා වතුර ටික බීලා, සුප් බෝල් එකත් අරන් සද්ද නැතුවම කුස්සියට ගියා. 🤫
ඔන්න අද දවසත් ඉවරයි.අද ස්කෝර් එක:මගෙන් සියුම් ඉන්- ස්වින්ගර් පන්දු දෙකක්.නැන්දම්මාගෙන් කෙළින්ම විකට්ටුවටම ආපු යෝකර් එකක් . (හැබැයි මම ඒක ඩිෆෙන්ස් කලා ලස්සනට)
හෙට පෝය. උදේම නැන්දම්මා පන්සල් යනවා කිව්වා. බලමුකෝ හෙට උදේට පිච් එකේ තත්ත්වය 😴
('හාස්‍යයට පමණි' ලේලිගේ දිනපොත ගැන ඔබේ අදහස් දැනගැනීමට හරිම කැමැත්තෙන් ඉන්නවා )
Next Episode 👇
https://muthuwrites43.blogspot.com/2026/06/episode-02-by-muthuwrites.html




Comments
Post a Comment