ලේලිගේ දිනපොත - Episode 02 ( හාස්‍යයට පමණි ) by Muthuwrites

ලේලිගේ දිනපොත - Episode 02


° පළවෙනි පරිච්ඡේදය :


Fun Sinhala Diary by Muthuwrites, funny diary image ,


උදේම නැන්දම්මා සිල් රෙදිත් ලෑස්ති කරගෙන පන්සල් යන්න ලෑස්ති උනා.යන්න කලින් මගේ ළඟට ඇවිත් බොහොම ශාන්ත ස්වරයකින්,

"දුවේ, මම මේ අද පන්සල් ගිහින් ඔයාටයි පුතාටයි සෙත් පතලා බෝධි පූජාවකුත් තියන්නයි හිතුවේ. ගෙදර දොරේ වැඩ ටික බලාගෙන පරිස්සමෙන් ඉන්න"

කිව්වා. මට හිතුණේ අපේ වෙඩින් එක දවසෙවත් නැන්දම්මා මට මෙච්චර ආදරෙන් කතා කරේ නෑ නේද කියලා. 😇

හැබැයි හැන්දෑවෙ පන්සල් ගිහින් ආපු ගමන් ශාන්ත දාන්ත ලීලාව සේරම ඉවරයි. සිල් රෙදි පිටින්ම කුස්සියට කඩා වැදුණු නැන්දම්මා, මම උයපු කෑම ටික දිහා බැලුවේ නිකන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැටලීමක් කරා වගේ.


​"අනේ මන්දා දුවේ, පන්සලේදී පියසීලි කිව්වා එයාගේ ලේලි නම් සිල් ගන්න දවසට උදේම නැගිටලා ඇඹුල් තියල් කරපු මාළු එකකුයි, චිකන් කරි එකකුත් හදලා"

"තව වටලප්පමකුත් හදලා තියනවලු මඟ ඇරුණු කෑම ටිකට හරියන්න . මං මේ බැලුවේ අපේ ගෙදර ඉතින් පරිප්පුයි සම්බෝලයි විතරයිනේ" කියල.

“අනේ අම්මෙ මම හිතුවෙ අද අම්ම මස්, මාලු කිසිම දෙයක් කන එකක් නැහැ කියල. ඒකයි හැදුවෙ නැත්තෙ” කිව්ව. නැන්දම්මා කතා නැහැ.🥺


“ආ අම්මෙ…පියසීලි ඇන්ටිගේ ලේලි එච්චර දේවල් කරලත් පියසීලි ඇන්ටි පන්සලට වෙලා හැමෝටම කිය කියා හිටියේ ඒ ලේලිගේ වැරදි විතරලුනේ."

" මං මේ බැලුවේ අපේ අම්මා වගේ පින්වන්ත නැන්දම්මා කෙනෙක් ලැබෙන්න මම කොච්චර පින් කරලා තියෙන්න ඕනෙද කියලා. අම්මා කවදාවත් එහෙම කරන්නෙ නෑනෙ”

කියලා කිව්ව. නැන්දම්මා වචනයක්වත් නොකියා, සිල් රෙද්දත් අරන් අරන් කාමරේට ගියේ සාරි පොටේ පැටලි පැටලි. 🏃‍♀️ බෝලෙ කෙලින්ම ගියේ ක්‍රීඩාගාරයෙන් එළියට!

හවස් වෙලා මම අපේ රෙදි ටික අයන් කර කර හිටියේ. නැන්දම්මා සාලේ ඉඳන් මහත්තයාට ඇහෙන්න කියනවා,

"දැන් කාලේ ළමයින්ට කරන්ට් බිල ගැන ගාණක් නෑ අනේ. අපේ කාලේ අපි රෙදි අයන් කරේ අඟුරු ඉස්තිරික්කෙන් “කියල.😐

මම කාමරෙන් එළියට ඇවිත්, "අනේ අම්මේ, ඒක නම් ඇත්ත. මමත් මේ බැලුවේ අඟුරු ඉස්තිරික්කයක් හොයාගන්න"

"හැබැයි ඉතින් අම්මා ලග නැතුවත් දවස පුරාම අර සාලේ දුවන ටීවී එකයි, කාමරේ දාලා තියෙන ෆෑන් එකයි ලයිට් ටිකයි නිවලා දැම්මොත්, මට මේ රෙදි ටික විතරක් නෙවෙයි මුළු ගමේම රෙදි අයන් කරන්න තරම් කරන්ට් එකක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි"

කියල කිව්වෙ බොහොම අහිංසක ලීලාවෙන්. මහත්තයා පත්තරේ අස්සෙ මූණ හංගගන්න දඟලනවා මං දැක්කා. තුන්වැනි විකට්ටුවත් බිඳ වැටුණා

රෑ කෑම වෙලාවේදී නැන්දම්මා "පුතේ, අද  ලොකු හාමුදුරුවෝ කිව්වා බිරින්දෑවරුන්ගේ තැන්පත් බව, ඉවසීම තමයි පවුලක රැකීමට,දියුණුවට හේතු වෙන්නේ කියලා ඒව ගැනත් පොඩ්ඩක් හිතන්න” කියල

මහත්තයා බයවෙලා වගේ බිම බලාගත්තා. මම ඉතින් හරිම අහිංසක විදිහට,

" අනේ බලන්නකො අම්මෙ අද මේ ටෙලිවිෂන් එකේ බණ කිව්ව හාමුදුරුවො කිව්වෙ තනිකරම ඕකෙ අනිත් පැත්තනෙ. ගොඩක් පවුල් කැඩෙන්නෙ නැන්දම්මලාගෙ අනවශ්‍ය ඇගිලි ගැසීම් හින්දයි කියල කිව්වනෙ” කිව්ව.🤨

මහත්තයා එකපාරටම කැස්සක් හදාගෙන කෑම මේසෙන් නැගිටලා දිව්වා. නැන්දම්මා පිඟානත් අරන් සද්ද නැතුවම කුස්සියට ගිහින් හයියෙන් පිගාන තියනව මට ඇහුන

දැන් වෙලාව රෑ 11යි. අද ස්කෝර් එක: ​ මගෙන් ලකුණු 6 ඒවම තුනයි.​

නැන්දම්මාගෙන් කෙළින්ම ඇඟටම ආපු බවුන්සර් පන්දු දෙකක් (හැබැයි මම ඒවා ඩක් කරලා ෂේප් වුණා).

හෙට නෑදෑ ගෙදරක යන්න තියනව අම්මවත් එක්කගෙන. බලමු ඒ පිච් එක කොහොම වෙයිද කියල.😉




°දෙවෙනි පරිච්ඡේදය :


Fun Sinhala Diary by Muthuwrites, funny diary image ,



අද මුළු පවුලම නිවාඩුවක් ගත්තා. හේතුව, නැන්දම්මාගේ ලොකු අක්කල අලුත් ගෙදරකට ගිහිල්ල. අපි අද ඒ ගෙට ගෙවැදීමට යනව.

උදේ ඉඳන් නැන්දම්මා ලෑස්ති වුණේ හරියට රාජ්‍ය තාන්ත්‍රික සංචාරයකට යනවා වගේ. කාර් එකට නගිනකොටම මගේ කනට කරලා,

"දුවේ.. එහේ ඉතින් නෑදෑයෝ සේරම එනවා. මගේ නම්බුව බේරලා, කට පරිස්සම් කරගෙන ඉන්න ඕනේ" කියලා අන්තිම උපදෙස් මාලාවත් නිකුත් කරා. 🤫

​එහෙ ගියපු ගමන් නැන්දම්මා නෑදෑ සෙට් එක මැදට වෙලා මාව හඳුන්වා දුන්නේ මහා පරිත්‍යාගශීලී විදිහට.

ලොකු අම්මා මගේ දිහා බලලා, "අනේ නංගි.. ඔයාගේ ලේලි නම් හරිම හැඩයි. හැදියාවත් ඒ වගේම ඇති නේද? "

"අපේ ලේලි නම් ඉතින් උදේ 5ට නැගිටලා මුළු ගෙදරටම කෑම හදලා, වැඩ ටික කරගෙන හරිම පිළිවෙළට ඉන්නවා" කියලා එයාගේ ලේලිව ඕවර් ඇක්ට් වර්ණනා කරා.🙄

​නැන්දම්මා එකපාරටම මගේ දිහා බලලා, "අනේ ඔව් අක්කේ.. අපේ ලේලිත් ඉතින් වරදක් නැහැ. හැබැයි ඉතින් රස්සාවත් කරන හින්දා උදේට ටිකක් විතර ඇහැරෙන්න පරක්කු වෙනවා"

"මම ඉතින් මුකුත් කියන්නේ නැහැ, පව්නෙ, මහන්සි වෙන ළමයිනෙ දුව නැගිටිනකොට මම ඉතින් වැඩ ටික ඔක්කොම කරල ඉවරයි.”කියලා හැමෝම ඉස්සරහා මාව "බිංදුවටම" ඇදලා දැම්මා.

​මම ඉතින් ලස්සන හිනාවක් දාලා, "අනේ ලොකු අම්මේ, ඒකනේ . අපේ අම්මා මම උදේම ඇහැරෙනවට කැමති නැහැනෙ  මට තියෙන ආදරේට"

"හැබැයි ඉතින් අම්මා උදෙන්ම නැගිටලා කුස්සියෙ වැඩ කරද්දි අම්මගෙ අතින් හරියට වළං අත ඇරෙනව"

ඉතින් ඒක නිසා අම්ම ආදරේට කොච්චර මාව ඇහැරවන්නෙ නැතුව ඉන්න හැදුවත් මට ඇහැරෙනව. මොනව කරන්නද?” කිව්වා.

නෑදෑයෝ සෙට් එකම නැන්දම්මා දිහා බලලා හිනාවෙනකොට, නැන්දම්මා එකපාරටම වතුර වීදුරුවක් ඉල්ලාගෙන බිව්වා. 😂 (කෙලින්ම ස්ටේඩියම් එකෙන් එලියට වැදුනු පාරක් )

​හවස් වෙලා හැමෝම සාලේ ඉඳන් තේ බොන වෙලාව. ලොකු අම්මාගේ ලේලි හැමෝටම තේ බෙදන ගමන් හරිම අහිංසක විදිහට,

"අනේ පුංචි අම්මේ, මම මේ කේක් එක හැදුවේ සිනී , පිටි සේරම අඩු කරලා, සෞඛ්‍යයට හිතකර විදිහට" කිව්වා.

​නැන්දම්මා කේක් කෑල්ලක් කටේ තියාගෙන, මහත්තයාට ඇහෙන්නම, "ෂා.. මෙන්න කේක්. අපේ ගෙදරත් ඉතින් කේක් හැදෙනවා"

"හැබැයි ඉතින් කෑවාම බඩ පුරවා දානවා. මේ වගේ ගුණ කෑම ජාති ඉගෙන ගන්න ඕනේ" කිව්වා.

​ මම ඉතින් මහත්තයාගේ අත හෙමින් අල්ලල

"අනේ ඔව් අම්මේ, මෙයාට දැන් බ්ලඩ් ෂුගර් තියන නිසා මේ වගේ සීනි නැති කෑම තමයි හරියන්නේ. හැබැයි ඉතින් මෙයා හැමදාම රෑට මට හොරෙන් කියන්නේ"

'අනේ පැටියෝ, අම්මා හදන සෞඛ්‍ය සම්පන්න කෑම කාලා මගේ දිවට දැන් රස දැනෙන්නෙත් නැති තරම්. ඔයා මොනවා හරි රසට හදල දෙන්නකෝ' කියලා. ඒකයි මම ගෙදරදී මෙයාට මොනව හරි හදල දෙන්නෙ.” කිව්වා.

​මහත්තයාගේ කටේ තිබ්බ තේ ටික කැස්සත් එක්කම ලොකු අම්මාගේ මූණට නොවැදී බේරුණේ අනූ නවයෙන්.

බය වෙච්ච ලොකු අම්ම, "නංගි, වත්ත පැත්තේ ලස්සන මල් පැළ වගයක් තියෙනවා, අපි බලන්න යමු" කියලා නැන්දම්මාවත් ඇදගෙන සාලෙන් ගියා 😉

​ආපහු ගෙදර එන්න කාර් එකට නගිනකොට රෑ 8 විතර වුණා. පාර දිගටම කාර් එක ඇතුළේ මහා නිශ්ශබ්දතාවයක්.

මහත්තයා  පාර දිහා විතරක් බලාගෙන ඩ්‍රයිව් කරනවා. නැන්දම්මා ජනේලෙන් එළිය බලාගෙන ලොකු සුසුමක් හෙළලා කියනවා,

"අනේ මන්දා.. අද ලොකු අක්කලාගේ ගෙදරදී මගේ නම්බුව බේරුණේ අනූනමයෙන්” කියලා .😑

​මම ඉතින් මහත්තයාගේ කරට අතක් දාලා, "ඇත්තමයි අම්මේ.. මාත් ලොකු අම්මාට කිව්වා අපේ අම්මා පන්සල් ගිහිල්ලත් හැමදාම යාළුවන්ට කියන්නේ මගේ ගුණ විතරයි"

"කවදාවත් පිට මිනිස්සු ඉස්සරහා මාව ලැජ්ජ කරන්නෙ නැහැ. මේ වගේ නැන්දම්මා කෙනෙක් ලැබුනෙ මගෙ පෙර පිනකට”කියල.☺️

​නැන්දම්මා ඊට පස්සේ ගෙදරට එනකල්ම වචනයක්වත් කතා කරේ නෑ. මහත්තයා හොරෙන් කකණ්නාඩියෙන් මගේ දිහා බලලා අසරණ හිනාවක් දැම්මා.

​ඔන්න නෑදෑ ගමනත් ඉවරයි.

අද අවේ එකේ ස්කෝර් එක: ​මගෙන් නෑදෑයෝ ඉදිරියේම ගහපු සුපිරි සික්සර්ස් දෙකයි.​

නැන්දම්මා හිට් ව්කට් වෙලාම ස්කෝර් එක බැලන්ස් කරලා දුන්නා.මහත්තයා අදත් ඉන්ජර්ඩ් වෙලා ලකුණු නොලාබාම ක්‍රීඩාගාරයට දිව්වා.

​හෙට සඳුදා. ආයෙත් අපේම හෝම් ග්‍රවුන්ඩ් එකේ මැච් එක. බලමුකෝ හෙට උදේට වළං සද්දේ කොහොම වෙයිද කියලා.😴💤




° තුන්වන පරිච්ඡේදයක් :


Fun Sinhala Diary by Muthuwrites , funny diary image,


හවස නැන්දම්මා සාලෙට වෙලා කල්පනා කරකර ඉන්නකොට මහත්තයා කිව්වා, "අම්මේ, අපි සුපර් මාකට් එකට යනව බඩු ටිකක් ගන්න එනවද?” කියල

නැන්දම්මා එකපාරටම මගේ දිහා බලලා, "යමු යමු.. හැබැයි ඉතින් ගෙදරට ඇත්තටම ඕන කරන ඒවා විතරක් ගමු. සල්ලි නාස්ති නොකර" කියලා මට පොඩි වෝනින් එකක් දුන්නා.

​ඔන්න ඉතින් අපි තුන්දෙනා සුපර් මාකට් එකට ගියා. මහත්තයා ට්‍රොලි එක තල්ලු කරගෙන යනවා, මමයි නැන්දම්මයි පස්සෙන් යනවා. හරියට අම්පයර් එක්ක ටොස් එකට යන කැප්ටන් ල දෙන්න වගේ ☺️

​ටිකක් දුර යනකොට නැන්දම්මා දැක්ක ඕගනික් හාල් තියනව.. එකපාරටම නැන්දම්මා සද්දෙට,

"අනේ පුතේ, මෙන්න මේ සුවඳැල් බත් කන්න තමයි මම ආස. හැබැයි ඉතින් අපේ ගෙදර උයන්නේ රතු කැකුලු හාල්නෙ"

"මට ඉතින් මේවා කන්න පින නැහැ" කියලා එතන හිටපු තව සෙට් එකකට ඇහෙන්නම කිව්වා. 🥺

​මම ඉතින් හිනාවෙලා, "අනේ අම්මේ, ඔයාට ඉතින් මම මේවා ගෙනත් උයලා දුන්නම අම්මා කිව්වේ"

'අනේ පුතේ, මේ ලේලි උයන බත් වල කිසි රහක් නෑ, මට නම් රතු කැකුළු බත් ටිකක් තිබ්බොත් ඇති' කියලා"

"ඒකයි මම අම්මගේ ආසාවටම ඊට පස්සෙ රතු කැකුළු ගත්තෙ. ඉන්න මම මේව ගන්නම්” කිව්ව.​

එතන හිටපු සේලස් ගර්ල් කටත් ඇරගෙන නැන්දම්මා දිහා බලද්දී, නැන්දම්මා "එපා එපා.. රතු කැකුළු හොඳයි" කියලා බිම බලාගෙන ඉස්සරහට ඇදුණා. 😂 (පළවෙනි ඕවරේටම 4ක් වැදුණා)

​ඊළඟට අපි ගියේ එළවළු, පලතුරු තියෙන සෙක්ෂන් එකට. නැන්දම්මා මම ඇපල් ගන්නව දැකල මහත්තයාට ඇහෙන්න,

"බලන්නකෝ පුතේ, දැන් කාලේ කෙල්ලෝ කම්මැලිකමට කෑම හදන්නේ නැතුව මේ වගේ පලතුරු කාලා ඩයට් කරනවා'

"අපේ කාලේ නම් අපි හොදට මහන්සි වෙලා ඊට පස්සෙ බත්ම තමයි බඩ පිරෙන්න කෑවෙ" කිව්වා.

​මම ඉතින් මහත්තයාගේ ඇඟට ටිකක් බර වෙලා,

"අනේ ඔව් අම්මේ.. ඒකනේ මම හැමදාම අම්මලට හොදට කෑම හදලා දෙන්නේ. හැබැයි ඉතින් අම්මා හැමදාම රෑට  කෑම කාලා ඉවර වෙලා, සාලෙට වෙලා ටීවී බලන ගමන් "

'අනේ දුවේ, මට බඩ පොඩ්ඩක් පුරවා දාල වගේ, අර ඇපල් ගෙඩියක් කපලා දෙන්නකෝ' කියන්නේ"

"මම ඉතින් අම්මා ගැන හිතලම තමයි හැමදාම ඇපල් ගන්නේ” කිව්වම නැන්දම්මගෙ මූණ පළවෙනි බෝලෙටම රනවුට් වෙලා යන බැට්ස්මන් කෙනෙක් වගේ වුනා ☺️

නැන්දම්මා ගස්සපු පාරට ​මහත්තයා ට්‍රොලි එකේ තිබ්බ බඩු ටික බිම නොදමා බේරගත්තේ අනූනවයෙන්. නැන්දම්මා එකපාරටම,

"මට මහන්සියි, මම අර පැත්තේ තියෙන පුටුවකින් වාඩි වෙනවා" කියලා ශේප් එකේ මාරු වුණා.

​අන්තිමට බිල් එක දාන පෝලිමේ ඉන්න වෙලාවෙ නැන්දම්මා ටිකක් ඈතින් හිටියේ. මහත්තයා මගේ කනට කරලා,

"ඇත්තටම ඔයා නම් මාරයි අනේ.. අම්මගෙ හැම එකකටම උත්තර තියෙනවා අපේ අක්කලටවත් ඔහොම බේරෙන්න බැරුව ගියා අම්මගෙන්" කියලා හිනාවුණා.

බිල් එක දාලා ඉවර වෙලා කැෂියර් එකෙන් ලොකු බිල් එකක් ආවා. නැන්දම්මා එකපාරටම ලඟට ඇවිත්,

"අම්මෝ.. මේ මොනවා ගත්තද මෙච්චර බිලක්? සල්ලි ගස්වලින් වැටෙන්නේ නැහැනේ" කිව්වේ සද්දෙට. කැෂියර් එකේ හිටපු ළමයත් බය වුනා. 😦

​මම ඉතින් හිමීට, "අනේ අම්මේ කෑ ගහන්න එපා, බිල වැඩි වුණේ අම්මාට ගත්තු පිටරට හෙයාර් කලර් එකටයි, අර ආතරයිටිස් වලට හොඳයි කියල අම්ම ගත්තු පිටරට තෙල් එකටයි"

"මේ බලන්න බිල ඕනෙ නම් ඒ දෙකම ගොඩක් ගණන්. ඒත් කමක් නෑ අම්මට අවශ්‍ය දේවල්නෙ” කිව්ව"

​කැෂියර් හිනාව හිරකරගෙන බිම බලාගත්තා. නැන්දම්මා ඉක්මනට බෑග් දෙකකුත් අරන් සුපර් මාකට් එකෙන් එළියටම ගියා.

​වාහනේට නැගලා ගෙදර එනකල්ම කාර් එක ඇතුළේ එයාර් කන්ඩිෂන් එක තිබ්බත් නැන්දම්මා හිටියේ හොඳටම රත් වෙලා. 😠

​අද සුපර් මාර්කට් මැච් එකේ ස්කෝර් එක:

​මගෙන්: සුපර් මාකට් එක ඇතුලේදීම එල්ල කරපු සුපිරි හයේ පහරවල් දෙකක් සහ එක හතරෙ පහරක්.

නැන්දම්මා: තමන්ම කපපු වලේ වැටිලා, බිල් එක ලඟදී රනවුට් වුණා.​ මහත්තයා: අදත් බඩු ට්‍රොලි එක තල්ලු කරමින්, දෙපැත්තෙන් එන බෝල, අම්පයර් කෙනෙක් වගේ බලාගෙන හිටිය.

දැන්නම් හරිම මහන්සියි.නිදිමතයි. බලමු හෙට මොන වගේ pitch එකක් හැදෙයිද කියල 🥱


Next Episode 👇


Previous Episode 👇

Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම ( හාස්‍යයට පමණි ) - by Muthuwrites

ලේලිගේ දිනපොත - 12 නෑදෑ ගමන ( හාස්‍යයට පමණි ) - by Muthuwrites

ලේලිගේ දිනපොත - 14 සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම ( හාස්‍යයට පමණි ) - by Muthuwrites