හැදින්වීම :
පසුගිය දිනවල සිදුවූ ඛේදජනක සිදුවීමක් වන මීගමුවේ බන්ධනාගාර සිදුවීමේදී සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීමක් වූ එහි කාන්තා රැදවියන්ගේ සිදුවීම කාගෙත් අවධානය දිනාගත් එකක්.
එහිදී කාන්තා බන්ධනාගාර රැදවියන් පිළිබදව නොයෙකුත් කතාන්දර මතු වුනා.
මා විසින් මීට ටික කලකට ඉහතදී සත්‍ය කතාවක් ඇසුරින් මුහුණු පොතට ලියූ 'මිලින මලක්' කතාව නැවත මෙහි ලිවීමට සිතුවේ එහි කාලානුරූප බව නිසාවෙනි.
මෙහි ඔබ අප හැමදෙනාගෙම ජීවිත වලට ගතයුතු යමක් ඇති බව මගේ නිසැක විශ්වාසයයි.
අපි ඇය නිල්මි නමින් හදුන්වමු. මේ ඇයගේ කතාවයි..........
අවන්හලේ හමුව
අවන්හලේ මා ඉදිරියේ හිදගෙන හිස් බැල්මෙන් මුහුද දෙස බලා සිටි ඈ……..මා දෙස දෙස බැලුවේද ඒ හිස් බැල්මෙන්මය………
මා හට ඇයව මුණගැසුනේ දැනට මාස දෙකකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයේදීය………
නීති විද්‍යාලයේ තුන්වන වසරේ නීති ශිෂ්‍යාවක් වන මා හට…… එමගින් සංවිධානය කල වැඩසටහනක් සදහා වැලිකඩ බන්ධනාගාරයට ගිය අතරතුර………… කාන්තා සිරමැදිරි සංකීර්ණයේදී ඇය දැක ගැනීමට ලැබුණි.
දුටුව සැනින්ම අනිත් අයවලුන්ගෙන් වෙනස් කොට හදුනාගත හැකි විශේෂත්වයක් ඇය වෙත තිබුනි………..
අවුරුදු තිහක පමණ පෙනුමක් තිබූ ඇය…….ඉතා වැදගත් පවුලක අයෙකු බව මට හැගුනි……….
එහි සිටි බොහෝ රැදවියන් කැමැත්තෙන් අප සමග කතා කිරීමට පැමිණියත්……….ඇය අප දෙස බැලීමට හෝ උනන්දු වූයේ නැත.
ඇය පිළිබද තොරතුරු විමසා බැලීමේදී අප හට දැනගැනීමට ලැබුනේ………ඇය මෙහි පැමිණ තිබෙන්නේ නීතිවිරෝදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වරදට දඩුවම් වශයෙන් බවටයි.
එය ඇසුවාට පසුව මා හට ඇය සමග කතා කිරීමට ඇති වූයේ නොමද කුතුහලයකි.
මුලින් මා සමගින් වචනයක්වත් කතා කිරීමට කැමැත්තක් නොදැක්වූ ඇයව……..මාගේ නොපසුබට උත්සාහයෙන් මා සමග කතා කිරීමට පොළඹවා ගත්තෙමි.
“ ඔයාගෙ නම මොකක්ද….? “
“ මම නිල්මි ඒකනායක.”
“ ඔයා කැමතියිද මාත් එක්ක ටිකක් කතා කරන්න…… “
“ඔව්…. කැමතියි…… ඒත් අද නෙවෙයි……. මම ලබන මාසෙ නිදහස් වෙනව……. ඊට පස්සෙ මම ඔයාට කෝල් එකක් දෙන්නම්…….. මට ෆෝන් නම්බර් එක දීල යන්න….”
එයින් පසු ඇය වචනයක් හෝ කතා නොකොට ඉවතට ගියාය.
ඇය කතා කරාවි යැයි කිසිම විශ්වාසයක් නොමැති වූවත්…… මම ඇයට කොලයක මගේ දුරකථන අංකය මගේ නමත් සමග ලියා දුන්නෙමි.
එහෙත් මා නොසිතූ ලෙස පෙරේදා හවස ඇය මට දුරකථන ඇමතුමක් දුන්නාය………අඩහෝරාවක් පමණ වූ එම ඇමතුමේ ප්‍රතිඵලයක් ලෙස අපි අද මෙලෙස මුණගැසුනෙමු.
“ ඉතින් ඔයාට මගෙන් දැනගන්න ඕන මම මේ වගේ තත්වෙකට පත්වුනේ ඇයි කියලනෙ…….මටත් ලොකු අවශ්‍යතායක් තියනව මේ ගැන කියන්න අනිත් අයට දැනගන්න……”
“විශේෂයෙන්ම ගෑනු ළමයෙකුට කවදාවත් මම පත්වුනු තත්ත්වයට පත් නොවෙන්න…….”
“ ඒ වගේම දෙමව්පියන්ට කවදාවත් තමන්ගෙ දරුවන්ව ඒ තත්ත්වයට පත් නොකරන්න…..”
“ ඉතින් ඔයා එක්ක කතා කලාට පස්සෙ…….ඔයාගෙ ව්ස්තර දැනගත්තට පස්සෙ මට හිතුන…….ඔයාට මගෙ කතාව කියන්න…..ඔයා අහපු දේට මම කැමතියි……. මේ කතාව සෝෂල් මීඩියා එකක පළවෙනවට.”
“ මම ඉපදුනේ කොළඹ හතේ….කුරුදුවත්ත කියන්නෙ. එක්දාස් නමසිය අනූ හතර අවුරුද්දෙ. මට දැන් අවුරුදු තිස් දෙකක්.
අර කතාවට කියන… රත්තරං හැන්ද කටේ තියාගෙන මම ඉපදුනා කිව්වොත් වැරදි නැහැ…….
“ මගෙ අම්මයි…. තාත්තයි දෙන්නම ස්පෙෂලිස්ට් ඩොක්ටර්ස්ල…මට ඉන්නෙ එකම අයිය කෙනෙක් විතරයි එයත් ඩොක්ටර් කෙනෙක්…… අය්ය මට වඩා අවුරුදු නවයක් වැඩුමල්.”
මව්පියන්ගේ හීනය
“ මම ගියේ කොළඹ ජනප්‍රිය ගර්ල්ස් ස්කූල් එකකට…….මට තේරෙන කාලෙ ඉදලම අම්මලට ඕන උනේ මට හොදට උගන්නනන්න………”
“ ඒක හැම අම්ම තාත්ත කෙනෙක්ගෙම ලොකුම හීනය උනත්……අපේ අම්මලගෙ වෙනස තිබුනෙ……. එයාලට ඕනෙ උනේ…..අය්යවයි මාවයි දෙන්නවම ඩොක්ටර්ස්ල කරන්න විතරයි”
“ පොඩි කාලෙ ඉදලම පුදුම හිරවුනු ජීවිතයක් මම ගත කලේ……
ඉගෙනීමෙ වැඩ වලට බාධා වෙයි කියල මට කිසිම බාහිර වැඩක් කරන්න දුන්නෙ නැහැ. “
“ස්කෝලෙ බෑන්ඩ් එකට යන්න…….නෙට්බෝල් සෙල්ලම් කරන්න…. වගේ මම ආසාවෙන් හිටපු එක දේකටවත් මට යන්න ලැබුනෙ නැහැ.”
“ඔය අතරෙ මම ඕලෙවල්ස් ඉවර වෙලා……ඒලෙවල්ස් කරන කාලෙ ආව…….ඕලෙවල්ස් වල රිසාල්ස් එන්න ඉස්සරින්ම මම බලාපොරොත්තු උන විදිහටම…… අම්මල මට බයෝ ක්ලාසස් කරන්න ගෙදරට ටීචස්ලව ගෙනාව.”
“ ඒ කාලෙ මගෙ අය්ය මෙඩිකල් කොලෙජ් ගිහිල්ල ඉවරවෙලා සීමාවාසික පුහුණුවට යනව.”
“ටික දවසක් ක්ලාසස් කරද්දි මට තේරුනා….. මට මේක කරන්න බැහැ කියල…….මොන හේතුවක් නිසාද මන්ද…….මට ඒ එක සබ්ජෙක්ට් එකකටවත් කැමැත්තක් ඇති උනේ නැහැ.”
“මම අම්මලට ඒ ගැන කිව්ව…..මම කිව්ව මට කොමර්ස් හරි ආර්ට්ස් හරි කරන්න දෙන්න කියල……ඒත් අම්මල ඒකට එකහෙළාම විරුද්ධ උනා…..”
“ඔය අතරෙ ඕලෙවල් රිසාල්ස් ආව…..මම ඒ නවයක් අරගෙන තිබුන…… ඊට පස්සෙ ස්කෝලෙ ඒලෙවල්ස් ක්ලාසසුත් පටන් ගත්ත……ඒත් දිගින් දිගටම මට බයෝ සබ්ජෙක්ට් ඉගෙනගන්න එක එපා වෙලා තිබුනෙ…..මට ගොඩක් දේවල් තේරුනේ නැහැ…..”
“මම අම්මල එක්ක මේ ගැන කතා කරන හැම වෙලාවකම ලොකු ප්‍රශ්න ඇතිවෙලා මම හොදටම බැනුම් ඇහුව….. විශේෂයෙන්ම අම්මගෙන්.”
“ස්කෝලෙ ටර්ම් ටෙස්ට් වලදිත් ලකුණු අඩුවෙලා මම අම්මගෙන් ගොඩක් බැණුම් ඇහුව…….මට එක සබ්ජෙක්ට් එකකට ටීචර්ස්ල දෙතුන්දෙනා ගෙදරට ගෙනාව උගන්නනන්න………
“මම මට පුලුවන් උපරිම උත්සහ කලත් මට ඒලෙවල් රිසාල්ස් ලැබුනෙ සී එකයි , එස් දෙකයි.”
“ මම අම්මගෙන් තාත්තගෙන් විතරක් නෙවෙයි… අය්යගෙනුත් හොදටම බැනුම් ඇහුව.”
“ මට ඒ තුන්දෙනාම කිව්වෙ ආයෙ ඒලෙවල්ස් කරන්න කියල….. මම බැහැමයි කියද්දිත් එයාල මට බල කලා කරන්න කියල.”
“ තාත්ත යෝජනා කලා මාව පිටරට යවල මෙඩිසින් කරවන්න…… ඒත් අම්ම ඒකට හොදටම විරුද්ධ උනා ලැජ්ජ නැත්ද ඔක්කොම දෙනා අපිට හිනාවෙයි……මෙහෙ පාස් වෙන්න බැරි වුන නිසා රට ඇරිය කියල……"
"අපේ නම්බුවට මොකද වෙන්නෙ……මෙයා ආයෙ ඒලෙවල්ස් කරන්නම ඕනෙ……මේ පාර මෙයාට පුලුවන් වෙයි මෙඩිකල් කොලෙජ් යන්න කියල.”
“ ඉතින් මම ගොඩක් අකමැත්තෙන් උනත් ආයෙ ඒලෙවල්ස් කරන්න ගත්ත……
“ ඔය අතරෙ අම්මට එයාගෙ යාලුවො කියල තිබුන…….ගෙදර ක්ලාසස් කරනවට වැඩියෙන් ගොඩක් සාර්ථක වෙයි……දුවව පේපර් ක්ලාසස්……මාස් ක්ලාසස් වලට එහෙම අරින්න කියල.”
“ ඔන්න ඔය විදිහට තමයි ජීවිතේ පළවෙනි පාරට මට ලොකු නිදහසක් ලැබුනෙ…..ගෙදරින් පිට යන්න.මම ක්ලාසස් තුනහතරකටම ගියා……මට ඒ ක්ලාසස් ගොඩක් යාලුවොත් හම්බවුනා.
ඒත් මට මේ මම ආසම නැති සබ්ජෙක්ට් ටිකක් ඉගෙනගන්න වෙන මේ ජීවිතේ එපා වෙලා තිබුනෙ……
නිල්මිගේ බලාපොරොත්තුව
ඔය අතරෙ මම දැක්ක ඉන්ටර්නෙට් එකේ ඇඩ්වර්ටීස්ට්මන්ට් එකක් දාල තියනව අයි ටී කරන්න ජපන් යන්න ස්ටුඩන්ට්ස්ලව ගන්නවයි කියල…..මම ආසම සබ්ජෙක්ට් එකක්……මට පුදුම ආසාවක් හිතුනෙ.
මම ඒ තිබුන ෆෝන් නම්බර් එකට කතා කලා. ඒ අය මට ගොඩක් විස්තර කිව්ව…….වියදම් වෙන ගානත් කිව්ව……ඒක ඒ කාලෙ හැටියට ටිකක් ලොකු ගානක්.
අපේ අම්මලට කිව්වොත් කවදාවත් මට යන්න ලැබෙන්න නැහැ……මම තීරණයක් ගත්ත……මම හිතුව මම අම්මලට හොරෙන් මේ ගමන යන්න හදා ගන්නව කියල.
ඒත් සල්ලි හොයාගන්නෙ කොහොමද……මගෙ බෑන්ක් එකවුන්ට් එකෙත් සල්ලි ටිකක් තිබුන…… තව මගෙ රත්තරං බඩු විකුණලත් සල්ලි ටිකක් හොයාගන්න පුලුවන්කම තිබුන…….
ඒත් ඒක ඇති වෙන්නෙ නැහැ මේ වැඩේට…… මම හිතාගත්ත කොහොම හරි සල්ලි ටිකක් හොයාගන්නවයි කියල.
දවසක් මම එක ක්ලාස් එකකට ගිහිල්ල ඒක පටන් ගන්නකල් ඉදගෙන කල්පනා කර කර ඉන්නකොට….. මට ඒ ක්ලාස් එකේදි අදුනගන්න ලැබුන ගර්ල් කෙනෙක් එතනින් ඇවිල්ල ඉදගත්ත….
අපි එතකොට හොද යාලුවො වෙලා හිටියෙ………
එයා මගෙන් ඇහුව මොනවද අනේ ඔය තරම් කල්පනා කරන්නෙ කියල…..මට එකපාරටම කියවුනා…. සල්ලි හොයාගන්න විදිහක් අනේ කියල……
ඊට පස්සෙ ඒ ගර්ල් මගෙන් තව විස්තර අහනකොට මම වැඩියෙ මොකුත් කියන්නෙ නැතුව කිව්ව……මට පිටරටකට යන්න සල්ලි ටිකක් හොයාගන්න ඕන ඒකයි කියල.
එතකොට ඒ ගර්ල් කිව්ව සොලියුෂන් එකක් තියනව ඔයා කැමති නම්……මට ලෑස්ති කරල දෙන්න පුලුවන් කියල.
මම මොකක්ද කියල ඇහුවම කිව්ව…..පොඩි බඩු වගයක් ඩිලිවරි කරන්න තියෙන්නෙ…..අමාරු දෙයක් නෙවෙයි……..හොදට ගෙවනව……. දවසකට දහදාහක් විතර හොයාගන්න පුලුවන් අපිත් සල්ලි ඕන උනාම කරනව කියල……
මම බඩු මොනවද කියල ඇහුවම කිව්ව……ඒක අපිට ප්‍රශ්නයක් වෙන දෙයක් නෙවෙයි…… එච්චර ලොකු දේකුත් නෙවෙයි පොඩි පාර්සලයක් කියල……..
ඒ වැඩේ නීතිවිරෝදී දෙයක් කියල මට හොදටම තේරුනා වුනත් සල්ලි අවශ්‍යතාවය නිසා මම වැඩේ කරන්න හිතුව……….
වරදට දඩුවම
මාස තුනක් විතරම මම ඒ වැඩේ හොදට කලා……. මට කියපු විදිහටම සල්ලිත් ලැබුන…… ඒත් එක දවසක මම පොලීසියට කොටු වුනා……. මට කරගන්න දෙයක් තිබුනෙ නැහැ…
ඊට පස්සෙ මාව පොලීසියට ගෙනියල…… මගෙන් විස්තර අරගෙන අපේ ගෙදරට දැනුම් දුන්න…… තාත්ත තමයි පොලීසියට ආවෙ…… තාත්ත පුදුම කේන්තියකින් මගෙ දිහා බලන් හිටියෙ……
ඊට පස්සෙ ගොඩක් දේවල් සිද්ද උනා…….
ඩ්‍රග්ස් කේසස් වලට ඇප දෙන්නෙ නැහැ කියල මාව රිමාන්ඩ් කලා…… ජීවිතේකට දකින්න හිතුවෙ නැති පරිසරයකට මම ඇතුල් වුනේ…….
මගෙ දෙමව්පියන්ට කොයිතරම් සල්ලි තිබුනත් මාව බේරගන්න බැරුව ගියා….. මගෙ අම්මයි, අයියයි නම් මාව බලන්නවත් ආවෙ නැහැ මම පවුලට අවනම්බු කලා කියල……..
තාත්ත තමයි ටිකක් හරි ආවෙ…… ඒත්…… මම අවුරුදු ගානකට හිරේට ගියාට ටික දවසකට පස්සෙ හාට් ඇටෑක් එකකින් තාත්ත නැති වුනා…… ඒ වැරැද්ද ආවෙත් මට……
අම්මවත්, අයියවත් මම උන්නද මලාද කියලවත් බලන්න ආවෙ නැහැ…… ටික කාලෙකට පස්සෙ ඒ දෙන්නම ලංකාවෙන් ගිහින් තිබුන……..
“එයාල දන්නෙ නැද්ද ඔයා නිදහස් වුනා කියල……”
“දැනගන්න විදිහක් නැහැනෙ……. එයාල මාත් එක්ක කිසිම කන්ටැක්ට් එකක් නැහැ……. දැනගත්තත් එයාල මාව පිළිගන්නෙ නැහැ……..
“කොහෙද දැන් ඉන්නෙ…….”
“අදුනන කෙනෙක් ලග……”
“මොනවද ඉස්සරහට කරන්න ඉන්නෙ……”
“එකවුන්ට් එකේ සල්ලි ටිකක් තියනව……. ඉක්මනින් රස්සාවක් හොයාගන්න ඕන……”
“ඉතින් ඔයාලගෙ පවුලට ගොඩක් දේපල තියෙන්න ඇතිනෙ…… ඒව මොකුත් ඔයාට ලැබෙන්නෙ නැද්ද…..??
ඇය එම ප්‍රශ්නයට කිසිම පිළිතුරක් නොදී අර හිස් බැල්මෙන්ම මුහුද දෙස බලා සිටින්නට විය………
“ආයෙ නීතිවිරෝදී වැඩ කරන්න හිතන්න එපා……..”
“නැහැ…… ආයෙ කිසිම දවසක මගෙ අතින් එහෙම දෙයක් වෙන්නෙ නැහැ…….”
ඇය පැවසුවේ කිසිදු හැගීමක් නැති හඩකිනි……
“එහෙනං මම දැන් යන්නං……”
අර හිස් බැල්මම මුව මත රදවාගෙන මගෙන් සමුගෙන හිරුට පිටුපා ගමන් කරන ඇයව මට පෙනුනේ අකලට මිලින වූ මලක් මෙනි………..
පසුවදන :
ජීවිතය යනු අප අපේක්ෂා කරන දේවල එකතුවක් පමණක් නොව, අප ගන්නා තීරණවල ප්‍රතිඵලයකි.
දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමාපියන්ට ඇති දැඩි බලාපොරොත්තු, බොහෝ විට ඔවුන්ගේ නිදහස් සිතුවිලි යටපත් කර දමයි.
දරුවෙක් යනු අපගේ අනුරුවක් නොවන බවත්, ඔවුන්ට ඔවුන්ගේම සිතුවිලි හා බලාපොරොත්තු ඇති බවත් අප තේරුම් ගත යුතුව ඇත.
ඔවුන්ව තේරුම් ගැනීම, ඔවුන්ට ඇහුන්කම් දීම මව්පියන්ගේ වගකීමක් හා යුතුකමක්ද වේ.
එමෙන්ම දරුවන් ලෙස ඕනෑම අර්බුදයකදී නිවැරදි මාවත තෝරා ගැනීමත්, වැරදි මාවතකදී වුවද ආපසු හැරී පැමිණීමේ ශක්තිය ඇති කර ගැනීමත් ඉතා වැදගත් වේ.
කෙටි කාලීන විසඳුම් හෝ පහසු මුදල් පසුපස හඹා යාමෙන් සිදුවන්නේ ජීවිතයේ සුන්දරත්වය අහිමි වී යාම පමණි.
ජීවිතය ආරම්භ වන්නේ කුඩාම ඒකකය වන පවුලෙනි. කුමන තරාතිරමක පවුලක සිටියත් අවබෝධයෙන් ජීවත් වනවානම් ප්‍රීතිමත් ජීවිතයකට අඩිතාලම වැටෙනු ඇත.
Comments
Post a Comment