නීපා - කදුළු කැටයම - Episode 02 : සාක්ෂි සටහන් කරගැනීම

Image
සාරාංශය : මෙම කථාංගය ආරම්භ වන්නේ නීති විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නීපා නැමැති තරුණියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරනු ලබන මූලික පරීක්ෂණ සහ සාක්ෂි සටහන් කරගැනීමත් සමඟයි.  වෛද්‍ය පරීක්ෂණ වාර්තා සහ පොලිස් වාර්තාවලට අනුව නීපාගේ මරණය සිදුව ඇත්තේ දහවල් 11:00 ත් 12:30 ත් අතර කාලය තුළදීය.  ඇය මියගිය දින උදෑසන කාලයේදී ඇය පදිංචිව සිටි ස්ථානයට ඇගේ පෙම්වතා වන කලිඳු, හොඳම යහලුවෙක් වන විහාන් නමැති අයද පැමිණ තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වේ. ​මහනුවර පදිංචි 47 හැවිරිදි චාරුණී දසනායක මහත්මිය වන නීපාගේ මව, පොලිස් පරීක්ෂක රමේෂ් වික්‍රමනායක මහතා ඉදිරියේ සිය සාක්ෂිය ලබා දෙයි.  ඇය පවසන්නේ කොළඹ බෝඩින් වී අධ්‍යාපනය හැදෑරූ නීපා සමඟ ඇගේ හොඳම යෙහෙළිය වන සුෂ්මා මෙන්ම තවත් නීති විද්‍යාලයේම අධ්‍යාපනය හදාරන තරුණියන් දෙදෙනෙකු පදිංචිව සිටි බවයි. ​සිද්ධිය වූ දිනට පෙරදින රාත්‍රී 10:06 ට නීපා තම මවට දුරකථන ඇමතුමක් ලබාදී විනාඩි 8 ක පමණ වේලාවක් කතාබහ කර තිබේ.  එහිදී ඇය තමාට සුළු හෙම්බිරිස්සාවක් සහ කැස්සක් ඇති බවත්, ඖෂධ ලබාගෙන ඉක්මනින් නිදාගන්නා බවත් මවට පවසා ඇත. එ...

ලේලිගේ දිනපොත - 23 : නවීන අතුගෑම හා කකුළුවන් කෑම

පළවෙනි පරිච්ඡේදය :

නවීන අතුගෑම

Lelige Dinapotha - 23 : නවීන අතුගෑම


නැන්දම්මගෙ විරුද්ධත්වය 

අද සෙනසුරාදා දවස් 5ක්ම වැඩ කරල පුංචි විවේකයක් ලැබෙන දවස. ඒත් අදත් උදේ උඩ ගිහිල්ල ඇහැරුනේ නැන්දම්මගෙ මහ හඩින් ඇහෙන ගාථා සද්දෙට 😐

දවස් හතේම ගෙදර විවේක සුවයෙන් ඉන්න කෙනෙකුට පාන්දර නින්දෙ තියන වටිනාකම තේරෙන්නෙ නැහැනෙ. කණ්දෙක හයියෙන්ම වහගෙන තව ටිකක් හොදට නිදියගත්ත.

උදේ වැඩ ටික ඉවර කරල සාලේ ඉඳන් කෝපි එකක් බොන ගමන් මම ෆෝන් එකෙන් ඇප් එකක් ඕපන් කරලා අලුතින්ම ගත්ත රොබෝ වැකියුම් ක්ලීනර් එක ස්ටාර්ට් කලා.

අද තමයි ඒක අලුතෙන්ම පාවිච්චි කරන්නෙ. මොන වගේ වෙයිද දන්නෙ නැහැ කියන කුතුහලේ මට තිබුන.

පුංචි රොබෝව ඉතින් සද්දයක් නැතුව සාලේ වටේ කැරකි කැරකි දූවිලි අදින්න පටන් ගත්තේ හරියට පිට්ටනිය පුරාම යන දක්ෂ පන්දු රකින්නෙක් වගේ.

​ටික වෙලාවකින් නැන්දම්මා කාමරෙන් එළියට ආවා. ඇවිත් බිම දිගේ තනියම ඇවිදින පුංචි රොබෝවා දිහා බලලා,

හරියට පිට්ටනියට ආපු දරුණු 'ෆාස්ට් බෝලර්' කෙනෙක් වගේ ඉණට අත් දෙක තියාගෙන පළවෙනි 'බවුන්සර්' පන්දුව එල්ල කරා:

​"හප්පේ... දුවේ, මොන කම්මැලිකමක්ද මේ? දැන් ඉන්න ගෑණුන්ට අතුගාගන්නවත් පණක් නෑ. මේ වගේ සෙල්ලම් බඩු බිම හැසිරෙව්වාම ඕකේ අස්සවල්වල තියෙන දූවිලි යන්නේ නෑ” 😡

“අපේ කාලේ නම් අපි උදේ හතරට නැගිටලා, ඉණට රෙද්දක් ඇඳගෙන, කොස්සෙන් මුළු ගේම අතුගාලා, සුවඳ දුම් අල්ලනවා. මේවා ඉතින් සල්ලි තියෙනවට කරන නාස්ති වැඩනේ."

​කියල නැන්දම්මා කට කොණකින් හිනාවෙලා රොබෝවා යන පැත්තට කකුලක් තියලා ඒකව නවත්තන්න හැදුවා.

​මම ඉතින් කෝපි උගුරක් බොන ගමන්, හරිම අහිංසක විදිහට හිනාවෙලා 'මිඩ්-විකට්' හරහා හයේ පාරක් ගැහුවා:

​"අනේ ඒක ඇත්ත අම්මේ. ඒ කාලේ ඉතින් ගෑණුන්ට උදේ හතරට නැගිටලා ගේ අතුගානවා ඇරෙන්න වෙන කරන්න වැඩක් තිබුණෙත් නෑනේ”

“මම මේ ලැප්ටොප් එකෙන් ඔෆිස් එකේ පොඩි වැඩකුත් කරන ගමන් ගේ අතුගාන්නෙ. තාක්ෂණේ තියෙන්නේ අපේ වැඩ ලේසි කරගන්නනේ අම්මේ," කිව්වා.

​නැන්දම්මා "ගස්සලා" අහකට හැරුණේ පළවෙනි පන්දුවෙන්ම තමන්ගේ විකට් එක බේරුණේ නූලෙන් කියලා තේරිලා. පළවෙනි ලකුණු ටික මගේ පැත්තට 😏

මහත්තයගෙ මැදිහත්වීම 

​ඒ වෙලාවේම මහත්තය කුස්සියේ ඉඳන් සාලෙට ආවේ හරියට 'රන්-අවුට්' වෙන්න බයෙන් දුවන පිතිකරුවෙක් වගේ. මිනිහා බයෙන් බයෙන් මගේ ළඟට ඇවිත්…..

"පැටියෝ... අම්මා කියන එකෙත් ඇත්තක් තියෙනවා. ඔය මැෂින් එක හැමතැනම යන්නේ නෑනේ. මම කොස්ස අරන් සාලේ පොඩ්ඩක් අතුගාන්නද?"

කියලා නිකන් අම්මාගේ පැත්තට 'ෆීල්ඩින්' කරන්න හැදුවා.

​මම එකපාරටම හස්බන්ඩ් දිහා බලලා සුපිරි 'යෝකර්' පන්දුවක් දැම්මා:

​"අනේ ඔයාගෙ අතුගෑවිල්ල.ඊයේ රෑත් දූවිලි ඇවිස්සිලා 'හච්චිස්' ගාලා බෙහෙත් බීවේ.ඔයා ඔයාගේ වැඩක් බලාගන්න අනේ”

“මම මේ රොබෝවව ගත්තේ ඔයාගේ ඔය ඇලජික් එක ගැන හිතලා. ඉතින් අපි මේකෙන් වැඩේ කරගමු," කිව්වා.

​හස්බන්ඩ් එකපාරටම "ආ... ඔව් නේද, මට අමතක වුණා" කියාගෙන සාලෙන් මාරු වුණේ තමන් 'ක්ලීන් බෝල්ඩ්' වුණා කියලා දැනගෙනමයි 😊

​මැච් එකේ අන්තිම ඕවරය ආවේ රොබෝවා වැඩේ ඉවර කරලා එයාගේ 'චාජිං ඩොක්' එකට තනියම ගිහින් හිටගත්ත වෙලාවේ. නැන්දම්මා ඒක දිහා බලලා අන්තිම 'ගූග්ලි' පන්දුව දැම්මා.

"දැන් ඉතින් ඕවා තිබුණට කරන්ට් බිල එනකොට තමයි රඟේ තේරෙන්නේ. අපේ කාලේ නම් කොස්සට කිසිම බිලක් ගියේ නෑ," කියලා නැන්දම්මා ආඩම්බරෙන් කිව්වා.

​මම ෆෝන් එකෙන් මැෂින් එක ඕෆ් කරන ගමන් 'ස්ට්‍රේට් ඩ්‍රයිව්' එක කෙළින්ම හතරේ සීමාවෙන් එළියටම යැව්වා:

​"අනේ නෑ අම්මේ, මේක 'ඉන්වර්ටර් ස්මාර්ට්' මැෂින් එකක්. මාසෙටම කරන්ට් එක යන්නේ පුංචි ගානයි”

“ඉතින් පොඩි ගානකින් මුළු ගේම පිරිසිදු වෙනවා නම් ඒක ලාභයිනේ අම්මේ," කියලා හරිම ලස්සන හිනාවක් දැම්මා ☺️

​නැන්දම්මා අතේ වතුර වීදුරුව අරන් එක හුස්මට බීලා ඒක ලග තිබ්බ මේස උඩින් දඩස් ගාල තිබ්බෙ හරියට මට ගහන්න බැරි කමට වගේ.

ඊට පස්සෙ විනිසුරුගෙ තීරණයට එකග නොවෙන ආවේගශීලී පිතිකරුවෙක් පිට්ටනියෙන් යනව වගේ කාමරේට ගියා.

ආයෙත් දොරෙන් ඔලුව එලියට දාල “පුතා ඔයා තමයි මේ හැමදේකටම උඩගෙඩි දෙන්නෙ”

කියල නැන්දම්ම කියද්දි මහත්තය ඇහුනෙ නෑ වගේ ඉන්නව මම ඇස් කොනින් දැක්ක.🙂

​මමත් ඉතින් තව කෝපි උගුරක් බොන ගමන් හිතින් හිතුවෙ "ස්මාර්ට් ලේලිලා ඉන්නකොට, නැන්දම්මලාගේ පරණ බෝලවලට තැනක් නෑ!" කියලා.


දෙවෙනි පරිච්ඡේදය :

කකුළුවන් කෑම

Lelige Dinapotha - 23 : කකුළුවන් සේදීම


සම්ප්‍රදායික සේදීම 

අද ඉරිදා උදේම මහත්තයා කිව්වා "මට හරි ආසයි කකුළුවො කන්න.මම පොළට ගිහින් හොඳ කකුළුවෝ ටිකක් ගේන්නම්”

“අම්මට රසට කකුළුවො හදන්න පුලුවන්. අම්මට කියල හදාගම්මු” කියල.

නැන්දම්මාට එකපාරටම මාරම ආඩම්බරෙන්…..🙂

"ඔව් පුතේ, ඔය අලුත් පන්නයෙ ළමයි හදන ක්‍රමවලට කකුළුවෝ ඉව්වොත් කන්න වෙන්නේ නෑ. මම අද මගේ තුනපහ දාලා හදන්නම්," කියලා මගේ දිහා බැලුවා "දැක්කද මගේ බලේ" වගේ බැල්මකින්

​මම ඉතින් "ෂා.. නියමයිනේ අම්මේ," කියලා ලස්සන හිනාවක් දැම්මෙ ‘අම්මෝ ඒ වැඩෙන් මම බේරුනා’ කියල හිතල.

​හැබැයි මහත්තයා පොළෙන් කකුළුවෝ ටික ගෙනල්ලා කුස්සියෙන් තියනකොටම නැන්දම්මාට එකපාරටම ‘කොන්දේ කැක්කුමක්’ මතු වුණා.

​"අනේ පුතේ, මගේ කොන්ද රිදෙනවා මේ වෙලාවටම” 😔

“කකුළුවෝ සුද්ද කරන එක ලේසි නෑනේ දුවේ.. ඔයා කකුළුවෝ ටික සුද්ද කරලා, කෑලි කපලා, හෝදලා ලෑස්ති කරලා දෙන්නකෝ. මම තුනපහ ටික දාල උයන්නම්”

කියලා බෝලෙ මගෙ පැත්තට දාල නැන්දම්මා සෝෆා එකට ගිහින් දිගා වුණා.

මට ​වැඩේ තේරුණා. කකුළුවෝ කටු ඇනගන්න, කකුල් කඩන්න ඕනෙ මම, නැන්දම්මට වැඩේ හරිම ලේසියි.​මම මුකුත් නොකියා මහත්තයාටත් ඇහෙන්න මෙහෙම කිව්වා….

"අනේ ඔව් අම්මේ, ඔයා කොන්ද රිදෙනවනම් පොඩ්ඩක් නිදියගෙන ඉන්න”

“හැබැයි අම්මේ.. ඔයාගේ ක්‍රමයට උයනකොට කකුළුවෝ සුද්ද කරන්නත් ඕන අම්මලගෙ කාලෙ විදිහටද නැත්තං අපේ කාලෙ විදිහටද කියන්න” කියල 😊

​ඒක ඇහුනම නැන්දම්මගෙ මූණ ඇඹරිලා ගියා……

මහත්තයා කාමරේ ඉඳන් කෑගැහුවා, "අම්මේ.. අම්මා උයන්න, හැබැයි බබා ලවාම සුද්ද කරවන්න. එයා සුද්ද කළාම තමා එක වැලි කැටයක්වත් නැත්තේ," කියලා.

නැන්දම්මා සෝෆා එකේ ඉඳන් "හ්ම්ම්.." ගාලා අනිත් පැත්ත හැරුණා.  (පළමු හයේ පහර )

නැන්දම්මගෙ ඉගැන්වීම 

හැන්දෑවෙ අපේ ගෙවල් වලට ටිකක් විතර ඈතින් ඉන්න නැන්දම්මගෙ යාලුවෙක් ආව  නැන්දම්මව බලන්න කියල

මම තේ හදන්න යනකොට නැන්දම්ම මට කුස්සියට ඇවිල්ල කිව්ව “වැඩියෙ මොකුත් ඕනෙ නැහැ තේ ටිකක් විතරක් දුන්නම ඇති” කියල.

​නැන්දම්මා යාලුවත් එක්ක සෝෆා එකේ වාඩි වෙලා මහා ඉහළින් කියවනවා…..😑

“දැන් කාලෙ ළමයින්ට ඇගපත මහන්සි කරල වැඩක් කරන්න බැහැ. ශරීර හොරු තමයි ඔක්කොම” 

යන්ත්‍ර වලට වැඩ බාරදීල ෆෝන් ගගහ ඉන්නව. අපේ කාලෙ එහෙමද විමල. අපි කොයිතරම් මහන්සි වෙලා වැඩපල කෙරුවද” කියල.

ව්මල ඇන්ටිත් කියන කියන එකට හූමිටි දෙනව “හ්ම් හ්ම් නැතුව නැතුව” කිය කිය.

“දැන් කාලෙ ඈයින්ට වැඩක් පලක් කරල කිසිම පුරුද්දක් නැහැ. කිව්වට මොකද අපේ ලේලිත් ඉතින් මෙහේ ආවට පස්සේ තමා හැමදේම ඉගෙන ගත්තේ”

කියලත් කිව්වෙ හරිම ආඩම්බරෙන්. 🙂

මට හිතුන මැච් එකකට ටොස් එකක් දාන්න.

​මම ඉතින් ලස්සන හිනාවක් දාගෙන සාලෙට ගියේ ඊයෙ හදපු චීස් කේක් එකෙන් කෑලි දෙකකුයි, සුවඳට හදපු ඉඟුරු තේ දෙකකුයි අරන් ඒ දෙන්නට.

“කන්න ඇන්ටි මේ චීස් කේක්. මම හැදුව එකක්” කියල දුන්න.

​නැන්දම්මාගේ යාළුව චීස් කේක් කෑල්ල කන ගමන්, "අනේ විමලා.. ඔයාගේ ලේලි හදපු චීස් කේක් නම් හරිම රසයි. ඔයාගෙ ලේලිට රසට කෑම හදන්න දන්නවනෙ” කිව්වා.

නැන්දම්මගෙ මූණ පළවෙනි බෝලෙන්ම අවුට් වුන ක්‍රීඩකයෙක්ගෙ වගේ වුනා ☹️

​නැන්දම්මගෙ යාලුව යන්න ලෑස්ති වෙනකොට,නැන්දම්මාට කිව්ව……

"අනේ ඔයා නම් මාර වාසනාවන්තයි මෙහෙම ලේලියෙක් ලබන්න.අපේ ගෙදර ලේලි නම් මෙලහකටත් කාමරේ වහන් නිදි ඇති" කියලා.

​නැන්දම්මා අමාරුවෙන් හිනාවක් මවාගෙන, "අනේ ඔව්.. මම ඉතින් හැමදේම කියලා දීලා හදාගත්ත නිසයි මේ," කියලා මගේ පිටට තට්ටුවක් දැම්මා.

​මමත් අතහැරියේ නෑ. "ඇත්තමයි ඇන්ටි.. මොනව නැතත් අම්ම මට හොදට උගන්නනව ‘එලාම් තියෙන්නෙ නැතුවත් ඇහැරිලා කුස්සියට කලින් එන්නේ කොහොමද' කියලා,"

කියාගෙනම මම කුස්සියට ගියා.

මම දැක්ක නැන්දම්මාගෙ යාලුව උඩ පන්දුවක් රැකගන්න ගිහින් පන්දුව කොහෙන් ගියාද කියල හොයාගන්න බැරිවුන ක්‍රීඩකයෙක් වගේ නැන්දම්ම දිහා ඇස් ලොකු කරගෙන බලන් ඉන්නව.

දැන්නම් හොදටම නිදිමතයි 😴

 



 





Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම