ලේලිගේ දිනපොත - 22 රොකී සමග නැන්දම්මා හා මොඩර්න් වෙනස
පළවෙනි පරිච්ඡේදය :
රොකී සමග නැන්දම්මා
අද උදේ පාන්දර 5.00ට විතර කුස්සියෙන් මහා ලොකු "බුරන සද්දයක්" ඇහුණා.
මදැයි,දැන් නැන්දම්මගෙ වැඩේ රොකී පටන් අරගෙන වගේ. නැන්දම්ම කියල දීලවද්ද කියල මට හිතුන.
මම සාලෙට එද්දී, මෙන්න නැන්දම්මා රෙදි කෑල්ලකුත් අරන් රොකීගේ පස්සෙන් දුවනවා. බැලින්නම් රොකී උදේම කුස්සියේ මැට් එක උඩ සෙල්ලම් දාලා💩
නැන්දම්මා මාව දැක්ක ගමන්,
"බලන්නකෝ දුවේ, ඔයාල මේ ගෙදරට ගෙනාපු රාජකුමාරයා කරලා තියෙන හරිය” කියලා උදේ පාන්දරම මගේ ඇඟට තද "යෝකර්" පන්දුවක් එව්වා. 😐
මම ඉතින් හිනාව හිරකරගෙන,
"අනේ අම්මේ... රොකී හරිම බුද්ධිමත් කියන්නේ ඒකනේ. මිනිහා දන්නවා අම්මා උදේම නැගිටිනව කියලා”
“ඒකයි ඌ ඉක්මනට නැගිටගෙන තියෙන්නෙ, අම්ම ඌව එළියට එක්කගෙන යයි කියල. එහෙම නැති පාර තමයි ඌ හොදටම බුරන්න ගත්තෙ..අම්මට තේරිල නැහැනෙ”
“මොකද ඉතින් ඌ කතා කරල කියන්නයෑ. ඒකයි රොකී බැරිම තැන මෙතන වැඩේ කරල තියෙන්නෙ. මම මේ ටික ක්ලීන් කරන්නම්.අම්ම ඒ ගැන එච්චර තරහ ගන්න එපා” කිව්වා.
නැන්දම්මා වචනයක්වත් නොකියා, රොකීගේ ලීෂ් එකත් අරන් මිදුලට බැස්සේ හරියට ඕපනින් එකට යන බැට්ස්මන් කෙනෙක් වගේ. 🐕
කොහොම හරි අන්තිමේට ඔක්කොම දේවල් සෙට්ල් කරල, මම ලෑස්ති වෙලා ඔෆිස් ගියා.
හවස් වෙලා මම ඔෆිස් ඉඳන් එද්දී සාලෙන් ඇහුනේ අමුතු සද්ද වගයක්. මම ටිකක් අහගෙන හිටිය.
බලද්දී නැන්දම්මා සාලේ ඉඳන් ටීවී එකේ බණ අහනවා, රොකී සෝෆා එක උඩ නැන්දම්මාගේ ඇඟටම හේත්තු වෙලා නිදි.
හැබැයි ලොකුම හරිය ඒක නෙවෙයි; නැන්දම්මා බණ අහන ගමන් "ඇත්ත තමයි හාමුදුරුවනේ... ඔය මිනිස්සුන්ට වඩා මුන් ගුණවත්" කියලා රොකීගෙ ඔලුව අතගානව 😂
මම හීන් සීරුවේ කුස්සියට ගිහින් තේ හදල සාලෙට ගෙනාවා.
"ෂා... අම්මයි රොකීයි දැන් මාර ෆිට් නේ. මං මේ බැලුවේ ලබන සතියේ හස්බන්ඩ්ගෙ යාළුවා ආපහු ආවාම රොකීව දෙන්න වෙන්නේ නැති වෙයිද කියලා" කිව්වා.
නැන්දම්මා තේ කෝප්පය අතට ගන්න ගමන් කාමරේ ඉන්න හස්බන්ඩ්ට ඇහෙන්නත් එක්ක හයියෙන්
"අනේ මන්දා, මූ ආවට පස්සේ තමයි මේ ගෙදරට සිරියාවක් ආවේ”
නැත්නම් ඉතින් මුළු දවසෙම ගෙදර මහා නිශ්ශබ්දතාවයක්නේ තියෙන්නේ. මං ඉතින් මට පුළුවන් විදිහට මූට සළකනව" කියලා මට වක්‍ර ප්‍රහාරයක් එල්ල කරා 😐
ඒ වෙලාවේ හස්බන්ඩ් සාලෙට ආවේ "බබා ඔයා කොහෙද මගෙ ඔෆිස් බෑග් එක තිබ්බෙ?" කියල අහගෙන.
මම ඉතින් හස්බන් දිහා බලල, හස්බන්ඩ්ට සෝෆා එක උඩ තිබුන හිස් බිස්කට් පැකට් එක පෙන්නල හිනා වෙවී කිව්ව…
”බබා, මේ බලන්නකො,අම්මා රොකීට කොච්චර ආදරේද කියනවා නම්, අද දවල් රොකීට කන්න දීලා තියෙන්නේ අර ඔයා ආසයි කියල කන්න ගෙනාපු ෆොරින් බිස්කට් පැකට් එක”
“අම්මා පුතාට වඩා බල්ලාට සලකනවා කියලයි මට පේන්නෙ” කියල.
මහත්තයා එකපාරටම "මොකක් මගේ බිස්කට් එක?" කියලා නැන්දම්මා දිහා බලද්දී, නැන්දම්මා බිම බලාගෙන,
"අනේ මන්දා... මූ අහිංසක විදිහට බලන් හිටපු හින්දා මං එකක් දෙකක් දුන්නා, පස්සෙ ආසාවෙන් කනකොට ඔන්න ඔහෙ ඔක්කොම දීල දැම්ම" කියලා කිව්ව
දැන් වෙලාව රෑ 11 යි. රොකී දැන් නැන්දම්මාගේ ඇඳ ලඟම පොඩි කොට්ටයක් උඩ නිදි. නැන්දම්මා රෑට නිදාගන්න කලින් රොකීට "ගුඩ් නයිට්" කියනවා මට කාමරේට ඇහුණා.
නැන්දම්මගෙ බල්ලන්ට අකමැති චරිතෙ සම්පූර්ණයෙන්ම දිය වෙලා ගිහින්.
දැන්නම් හරිම නිදිමතයි. බලමු හෙට ඇහැරෙන්න මොන එලාම් එකක් වදීද කියල 🤔
දෙවන පරිච්ඡේදය :
මොඩර්න් වෙනස
රොකීව හස්බන්ඩ්ගෙ යාලුව ඇව්ත් අරන් ගියාට පස්සෙ නැන්දම්ම හරි පාලුවෙන් හිටියෙ.රොකිත් නැන්දම්මව දාල ගියේ ක්‍රිකට් ෆීල්ඩ් එකෙන් ව්ශ්‍රාම ගන්න ක්‍රීඩකයෙක් වගේ 😔
නැන්දම්මා ටික දවසකට ලොකු අක්කලගෙ ගෙදර යනව කියල ගිහිල්ල, “මම නැතුව පුතාට කෑම ටිකවත් හරියට ලැබෙනවද දන්නෙ නැහැ” කියාගෙන පස්සෙන්දම ආයෙ දුවගෙන ආව.
අද සෙනසුරාදා. දවල් මායි හස්බන්ඩුයි එකතු වෙලා සාලේ තියෙන පරණ සෝෆා එක අයින් කරලා, අපි අලුතින් ගෙනාපු සෝෆා එක සාලේ මැදින් තියන්න 'ෆීල්ඩ් එක සෙට් කරා'.
මම ඉතින් ඒකට ගැලපෙන ලස්සන 'පින්ක්, ග්‍රේ' කුෂන් කවර වගයක් දාලා සාලෙට අලුත් පෙනුමක් දුන්නේ හරියට 'ඩේ ඇන්ඩ් නයිට්' මැච් එකකට පිටිය ලෑස්ති කරනවා වගේ.
වැඩේ ඉවර වෙලා මායි හස්බන්ඩුයි හති අරිමින් ඉන්නකොට, නැන්දම්මා කාමරේ ඉඳන් සාලෙට ආවෙ ඕපනින් බෝල් කරන්න එන බෝලර් කෙනෙක් වගේ.
ඇවිත් අලුත් සෙටිය දිහා උඩ ඉඳන් පල්ලෙහාට බලලා, නහය පොඩ්ඩක් ඇද කරලා පළවෙනි 'ගූග්ලි' පන්දුව එල්ල කරා:
"හප්පේ... දුවේ, මොන පාටක්ද මේ තෝරගෙන තියෙන්නේ? මේ වගේ ලා පාටවල් දැම්මාම දූවිලි වැදුණාම කැත වෙනවා”
“අපේ කාලේ නම් අපි ගත්තේ තද දුඹුරු පාට, නැත්නම් කළු පාට ලී සෙටි. අවුරුදු තිහක් පාවිච්චි කලත් කිසිම ලෙඩක් නෑ. මේවා ඉතින් නමට විතරක් තියෙන සෝබන බඩුනේ."
නැන්දම්මා කට කොණකින් හිනාවෙලා සෙටිය උඩින් ඉඳගන්න ගමන් 'ඇටෑක් එක' තවත් දැඩි කරා.
මම ඉතින් සෝෆා එකේ කුෂන් එකක් පිළිවෙළකට හදන ගමන්, හරිම අහිංසක විදිහට හිනාවෙලා 'මිඩ්-විකට්' හරහා හයේ පාරක් ගැහුවා:
"අනේ ඒක ඇත්ත අම්මේ. ඒ කාලේ ඉතින් ගෙවල් ඇතුළත් කළුවරයි, බඩුත් කළු පාටයිනේ. හරියට නිකන් ලෙන් යුගය වගේ”
දැන් ඉතින් ලෝකේ දියුණුයි, මිනිස්සු කැමති ගෙදරට එනකොට හිතට නිදහසක් දැනෙන ලස්සන ලා පාටවල්වලට”
අනික අම්මේ, මේක 'ස්ටේන්-පෲෆ්' රෙද්දක්. කුණු ගෑවුණත් විනාඩියෙන් පිහදාන්න පුළුවන්. කාලෙට ගැලපෙන්න අපිත් වෙනස් වෙන්න ඕනනේ," කිව්වා.
නැන්දම්මා "හ්ම්..." ගාලා මූණ අහකට ගත්තේ පළවෙනි පන්දුවෙන්ම තමන්ගේ ඩිෆෙන්ස් එක කැඩුණා කියලා තේරිලා. පළවෙනි ලකුණු ටික මගේ පැත්තට.
ඊළඟට මැදට පැනලා 'ඇඩ්වයිස්' දෙන්න ආවේ අපේ හස්බන්ඩ්. මිනිහා සාක්කුවේ අත් දෙකත් දාගෙන,
"පැටියෝ... අම්මා කියන එකෙත් ඇත්තක් තියෙනවා. අපි මේකට උඩින් අර පරණ බෙඩ් ෂීට් එකක්වත් දාලා තියමුද දූවිලි නොවදින්න?"
කියලා නිකන් 'කැප්ටන්ව' පාවලා දෙන ක්‍රීඩකයෙක් වගේ කතා කරා. මම එකපාරටම හස්බන්ඩ් දිහා බලලා සුපිරි 'යෝකර්' පන්දුවක් දැම්මා:
"අනේ එතකොට අපි මෙච්චර සල්ලි දීලා මේක ගත්තේ සාලේ ලස්සන කරන්නද, නැත්නම් පරණ රෙදි ප්‍රදර්ශනයක් දාන්නද අනේ?”
“ඔයා දන්නවනේ, මම මේ මාසේ මගේ ප්‍රොජෙක්ට් බෝනස් සල්ලිවලින්මයි මේකට ගෙව්වේ. ඔයාට බරක් වුණෙත් නෑනේ. ඉතින් අපි මේකේ ලස්සන විඳිමු," කිව්වා.
හස්බන්ඩ් එකපාරටම "ආ... ඒකත් ඇත්ත තමයි" කියාගෙන සාලෙන් මාරු වුණේ තමන් 'ක්ලීන් බෝල්ඩ්' වුණා කියලා දැනගෙනමයි.
මැච් එකේ අන්තිම ඕවරය ආවේ තේ බොන වෙලාවේදී. නැන්දම්මා සාලේ මේසේ උඩ තිබ්බ අලුත් 'ඉන්ඩෝර් ප්ලාන්ට්' පෝච්චිය දිහා බලලා අන්තිම 'බවුන්සර්' එක දැම්මා.
"දැන් ඉන්න ළමයින් ඉතින් ගෙවල් ඇතුළෙ කැලෑව වවාගන්න එකනේ විලාසිතාව”
“අපේ කාලේ නම් වත්ත පිටිය පුරා මල් වැව්වා. ගෙවල් ඇතුළේ පැළ තිබ්බාම හුස්ම ගන්නත් අමාරුයි," කියලා නැන්දම්මා ආඩම්බරෙන් කිව්වා.
මම තේ කෝප්පය නැන්දම්මාගේ අතට දෙන ගමන් 'ස්ට්‍රේට් ඩ්‍රයිව්' එක කෙළින්ම හතරේ සීමාවෙන් එළියටම යැව්වා:
"අනේ නෑ අම්මේ, මේක 'එයාර් පියුරිෆයර්' පැළයක්. ගෙදර ඇතුළේ තියෙන විස වායු ඔක්කොම ඇදලා ගන්නවා”
“ විශේෂයෙන්ම අර පරණ අතීතකාමී අදහස් නිසා ඇතිවෙන පීඩනයත් මේකෙන් අඩු වෙනවලු.දැන් ඉතින් වත්තක් පිටියක් නඩත්තු කරන්න වෙලාව නැති අපිට මේවා ලොකු සහනයක්,"
කියලා හරිම ලස්සන හිනාවක් දැම්මා.
නැන්දම්මා තේ උගුරක් එක හුස්මට බීලා දැම්මේ කරකියාගන්න දෙයක් නැතුව. හස්බන්ඩ් ෆෝන් එකෙන් මූණ වහගෙන හිනාව තද කරගන්නවා මම දැක්කා.
අන්තිමට සාලේ හැඩකිරීමේ මැච් එකත් සුපිරියටම දිනලා, මම සෝෆා එකේ සැපට වාඩි වුණේ "මැච් එකේ වීරයා" සම්මානය මගේමයි කියලා හිතින් සතුටු වෙන ගමන් 😄
ලේලිගේ දිනපොත Previous Episode


Comments
Post a Comment