ලේලිගේ දිනපොත - 29 : ලුණු රස හා ගැලපෙන ඇදුම්
- Get link
- X
- Other Apps
පළවෙනි පරිච්ඡේදය :
ලුණු රස
ලුණු බැලීම
අද උදේ ඉදලම කුස්සියෙ වැඩ.නැන්දම්මගෙ ලොකු අක්කගෙ ලොකු පුතා එංගලන්තෙ ඉදල ඇවිල්ල අද අපේ ගෙදර කෑමකට එනව කියල.
නැන්දම්මට ඕන වුනේ ඒ කෑම අති විශේෂ විදිහට දෙන්න.
“අපේ අක්කගෙ ලොකු ලේලි හරි උද්දච්ච කෙල්ල. එංගලන්තෙ ඉන්නෙ කියල හරි අහංකාරෙට ඉන්නෙ. එයාට දෙවනි නොවෙන්න ජයට උයන පිහන දේවල් තියෙන්න ඕන දුවේ”
“ඔයා ඔය යූටියුබ් ද මොකෙන්ද එකෙන් බලල උයන්නෙ. ඒ වගේ එංගලන්තෙ කෑමම හදන්න” කියල කිව්ව.
මම ඉතින් “හා අම්මෙ” කියල රසට සිංහල ක්‍රමේට කෑම ටිකක් ලෑස්ති කලා.
කෑම හදනව බලන්න ආපු නැන්දම්ම “මොනවද දුවේ ඔය උයන්නෙ?? ඕව නම් මටත් හදන්න තිබුනනෙ. මම ඔයාට කිව්වෙ මේ අලුත් පැසන් කෑම ටිකක් හදන්න කියලනෙ” කිව්ව.
“අම්මෙ එයාල හැමදාම අලුත් පැෂන් කෑම කාලනෙ එන්නෙ. අපි මෙහෙ පැෂන් එකට එයාලට කන්න දෙමුකො අද” කිව්ව
“අනේ මන්ද…. දැන් ඉන්න ළමයි හරිම පණ්ඩිතයි. වැඩිහිටියෙක් කියන දෙයක් අහන්නෙම නැහැ” කිව්ව නැන්දම්මට ඊට පස්සෙ පෙනුනෙ මම උයන කෑම වල අඩුපාඩුමයි.
මම කහ බත් එකක් හදල කලුවට උයපු චිකන් කරියක්, කජු එක්ක හතු තෙල් දාල, පරිප්පු හින්දල උයල, ඉස්සො කිරට හදල, බෝන්චි බැදල උයල,අන්නාසි සැලඩ් එකක් එක්ක කෑම ටික හදල ඉවර කලා.
ඩිසර්ට් එකට වටලප්පමක් හදල තිබ්බෙ ඊයෙ.
උයල ඉවර වුනාට පස්සෙ නැන්දම්මා කුස්සියට ආවේ හරියට මැච් එකට ටොස් එක දාන්න එන විනිසුරුවරයෙක් වගේ.
හැන්දක් අරගෙන මුලින්ම පරිප්පු එකේ රස බැලුව නැන්දම්ම "හ්ම්... දුවේ, ලුණු ටිකක් වැඩියි වගේ." කිව්ව.
ඊට පස්සේ චිකන් කරියත් රස බලල "මේකටත් ටිකක් ලුණු වැඩියි." කිව්ව
කජු,හතු තෙම්පරාදුවෙ රස බලල "අපෝ... මේක සැර වැඩියි." කිව්ව
අන්තිමට ඉස්සො කරියෙ රස බලලා, "අපේ කාලේ නම් කෑමකට රසයක් තිබුණා. දැන් ඉතින් යූටියුබ් බලලා උයන නිසා ඔහොම තමයි." කියලා අවසාන තීන්දුවත් දුන්නා.
මේ ඔක්කොම පිටිපස්සෙන් ඉදගෙන මහත්තයත් බලාගෙන හිටියෙ. ඊට පස්සෙ මහත්තය කිව්ව.
“කමක් නෑ අම්මෙ…. දැන් මොනව කරන්නද??.....අපි බලමුකො එන අයට කොහොම ලුණු තේරෙයිද කියල” කිව්ව.
“බලන්නෙ මොනවද??? මගෙ නම්බුව තමයි ඉතින් නැතිවෙන්නෙ” කියපු නැන්දම්ම එතනින් ගියේ මාවත් විසිවෙන තරමට ගස්සගෙන.
අමතක වීම
ටික වෙලාවකට පස්සෙ නෑදෑයෝ ටික ආවා. ආගිය තොරතුරු කතාබහ කරල කූල් ඩ්‍රින්ක් එකක් එහෙම බීල ටික වෙලාවකට පස්සෙ හැමෝම කෑම මේසේ වාඩි වුණා.
එයාල කෑම කන්න ගත්තට පස්සෙ ඒ අක්ක “ අනේ නංගි මම මෙහෙම බෝංචි කාලම නැහැ. හරි රසයි කොහොමද හැදුවෙ?? කියල ඇහුව.
මහප්ප ඉස්සො කරි එක බත් එක්ක කලවම් කරගෙන,
"මේ ඉස්සො හොද්ද නම් තව ටිකක් ඉල්ලගන්න ඕන."කියලා පිඟාන දික් කළා.
ඒ අයිය කිව්ව "අද කෑම ඔක්කොම ගෙදර රසයි. ගොඩක් කාලෙකින් රස කෑමක් කෑව” කියල.
නැන්දම්මාගේ මූණ ටිකෙන් ටික වෙනස් වෙනවා මට පෙනුන.
ඒ අතරේ එයාත් කෑම බෙදාගෙන කන්න පටන් ගත්තා.
පළවෙනි කට කෑව ගමන් වටපිට බලලා ලුණු කුඩු බෝතලේ අරගෙන එයාගෙ පිඟානට තව ලුණු ටිකක් ඉහගත්තා.
“ලුණු හොදටම අඩුයි වගේ නේද කෑම වල??”කියල.
මම හෙමින් නැන්දම්මාගෙන් ඇහුවා,"අම්මේ... ලුණු වැඩියි කිව්වෙ මේ කෑමම නේද?"
නැන්දම්මා ටිකක් ගැස්සිලා, "අ... මේ... මට නම් දැන් ටිකක් අඩු වගේ." කියලා ගොත ගැහුවා.
හස්බන්ඩ්ට මේ කතාව ඇහිල හිනාව නවත්තගන්න බැරි වුණා. මැච් එක එතනින්ම ඉවරයි.
🏆 අද කුස්සියේ මැච් එකේ Score එක
මම: ඉවසීමෙන් ඉනිම ගෙනිහින්, අවසානයේ "මෑන් ඔෆ් ද මැච්" වුණා.
නැන්දම්මා: උදේ "ලුණු වැඩියි" කියලා මැච් එක පටන් අරගෙන, අන්තිමට තමන්ගේ පිඟානටම ලුණු දාගෙන ‘හිට් විකට්’ වුණා.
මහත්තය : හැමදාමත් වගේ අම්පයර් වෙලා හිටිය.
අද නම් හොදටම මහන්සියි. දැන් යනව නිදියගන්න.
දෙවෙනි පරිච්ඡේදය :
ගැලපෙන ඇදුම්
නැන්දම්මාගෙ අවවාදය
අද ඉරිදා. උදේ ඉදන් සුපුරුදු විදිහට වැඩ ටික ඉවර කරල කාල බීල ටිකක් විවේක ගත්ත.
හැන්දෑවෙ පන්සලේ උත්සවයකට යන්න අම්මත් එක්ක මහත්තයයි, මමයි දෙන්නත් ලෑස්ති වුනා.
මම සුදු පාට දිග කුර්තියකුයි, සුදු ඩෙනිම් එකකුයි ඇඳගෙන, පොඩි මුතු කරාබු දෙකක් දාගෙන කාමරෙන් එළියට ආවා.
ජයට සාරියක් එහෙම ඇදල සාලෙ සෝෆා එකේ වාඩි වෙලා හිටපු නැන්දම්මා මාව උඩ ඉඳන් පල්ලෙහාට බලලා නහය පොඩ්ඩක් ඇද කරලා,
"අනේ දුවේ... මේකද පන්සලක උත්සවයකට යන ඇඳුම??” කියල පුරුදු පරිදි මාත් එක්ක මැච් එකක් ගහන්න ලෑස්ති වුනා 😒
“අපේ කාලේ නම් සාරියක් ඇඳලා, කොණ්ඩෙ බැඳලා තමයි ගියේ. දැන් ඉන්න ලේලිලාට ඉතින් හැදියාව කියන එකත් ෆැෂන් එකක් වෙලා."
කියලා පළවෙනි 'ගූග්ලි' එක දැම්මා.මමත් හිනා වෙලා,
"අනේ අම්මේ... මේකත් දිග ඇඳුමක්නේ. පන්සලට යන්න හොදට ගැලපෙනව” කිව්ව.
ඒත් නැන්දම්මා එතනින් නතර වුණේ නැහැ. "සාරියක් ඇන්දොත් තමයි ගෑනු කෙනෙක්ට ලස්සන. මේවා ඇඳගෙන ගියාම බැදපු ළමයිද, ඉස්කෝලෙ ළමයිද කියලවත් තේරෙන්නෙ නෑ."
කියලා දෙවැනි පන්දුවත් දැම්මා.ඒ අතරේ මහත්තයා කාමරෙන් එළියට ආවේ සුදු පාට ටී-ෂර්ට් එකයි ජීන්ස් එකයි ඇඳගෙන. නැන්දම්මා එකපාරටම,
"අනේ පුතේ... ඔයාවත් මේ දුවට කියන්නකො වෙන ගැලපෙන ඇදුමක් අදින්න කියල. අපිටත් එක්ක ලැජ්ජයිනෙ මෙහෙම යද්දි”
කියලා කිව්ව.
මහත්තයා හිනාවෙලා “බබා ඕක ඇදගෙන ගියදෙන් අම්මෙ. මේ ඇදුමෙ වැරැද්දක් නැහැනෙ” කිව්ව.
“උඹල ඔක්කොම එකයි. වැඩිහිටියෙක් දෙයක් කිව්වම පිළිගන්න බැහැ කාටවත්ම” කියල අපි දෙන්නටම එරෙව්ව 😡
වයස ප්‍රශ්නය
උත්සවේ ඉවර වෙලා පන්සලේ ඉන්නකොට නැන්දම්මාගේ පරණ යාළුවෙක් හම්බුණා.එයා මගේ දිහා බලලා,
"අනේ නංගි... ලේලි හරිම පිළිවෙළයිනේ. අද කාලේ ළමයි වගේ නෙමෙයි. ලස්සනට ඇඳගෙන ඇවිල්ලා."කියලා කිව්වා.
මම "ස්තූතියි" කියල හිනාවුණා.නැන්දම්මාගේ මූණ ටික ටික වෙනස් වෙනව මම බලාගෙන.
ඒ අතරේ තවත් ඒ ඇන්ටිත් එක්ක හිටිය කෙනෙක් නැන්දම්මාගේ සාරිය දිහා බලලා,
"අනේ මේ සාරිය නම් හරි ලස්සනයි."කියපු ගමන් නැන්දම්මාගේ මූණට ආයෙමත් හඳ පායලා වගේ වුනා.හැබැයි ඊළඟට එයා කියපු දෙයින් ඒ හඳ වළාකුලකින් වැහුන වගේ වුනා😒
"මගේ අම්මත් ඔය වගේ සාරි තමයි අඳින්නේ... එයාටත් දැන් අවුරුදු අසූවක්” කියලා අම්මගෙ සාරිය අල්ලන ගමන් එයා හිනා වෙලා කිව්වා.
මහත්තයාට හිනාව නවත්තගන්න ගිහින් කැස්සක් ආවා.මමත් අහක බලාගෙන හිනා වුණා.ගෙදර එන ගමන් කාර් එකේ නැන්දම්මා කිසිම සද්දයක් නැහැ.
ටික වෙලාවකට පස්සේ නැන්දම්ම හෙමින් කිව්වා,
"පුතේ… වෙලාවක මාව ටවුමට එක්ක යනවද? මට පන්සලට අදින්න සුදු සාය, හැට්ට ටිකක් ගන්න ඕන” කියල කිව්ව
මමත් පුදුම වුණා වගේ "ඇයි අම්මේ? සාරි තමයි පන්සල් අදින්න ඕන කියල කිව්ව නේද??” කියල ඇහැව්ව.
නැන්දම්මා ටිකක් ලැජ්ජාවෙන්,
"නෑ…මේ…. මට ඒක ලේසියි කියල හිතුන” කියලා බේරෙන්න හැදුවා 🙂
ඒත් මම ඒ වෙලාවෙම 'යෝකර්' එකක් දැම්මා.
"අම්මේ… ඒක ලේසියි තමයි. ඒ වගේම අම්මට තාම අවුරුදු අසූවක් වෙන්න හිතලවත් නැහැනෙ නේද??
කියද්දි නැන්දම්මගෙ මූණ මගෙ යෝකර් එකට බිංදුවට අවුට් වෙලා යන ක්‍රීඩකයෙක්ගෙ වගේ වුනා. එතකොට මහත්තයත්.
“ඔව්නෙ. අපේ අම්මට අවුරුදු හැටකවත් පෙනුමක් තියනවද?? අම්ම සාරිම අදින්න ඕනෙ නැහැ පන්සල් යද්දි ලස්සනට අම්මට ලේසි ඇදුමක් ඇදල යන්න” කිව්ව.
“අනේ මේ ළමයින්ගෙ කතා” කිව්ව අම්ම ඉස්සරහ බලාගෙන කට වහගත්ත.
🏆 අද ඇඳුම් මැච් එකේ ‘ස්කෝර්’ එක
මම: ඉවසීමෙන් ඉනිම ගෙනිහින් අවසානයේ "මෑන් ඔෆ් ද මැච්" වුණා.
මහත්තයා: හරි වෙලාවට යෝකර් දාලා මැච් එක ලේලිගේ පැත්තට හරවපු ‘ඕල් රවුන්ඩර්’
නැන්දම්මා: "සාරිය තමයි හොඳ" කියලා මැච් එක පටන් අරගෙන, ගෙදර එද්දී සාය හැට්ට ගන්න අහලා "ක්ලීන් බෝලඩ්" වුණා.
Muthuwrites සියලුම කතාංග කියවන්න මෙතනින් පිවිසෙන්න
- Get link
- X
- Other Apps

.webp)
Comments
Post a Comment