නීපා - කදුළු කැටයම - Episode 02 : සාක්ෂි සටහන් කරගැනීම

Image
සාරාංශය : මෙම කථාංගය ආරම්භ වන්නේ නීති විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නීපා නැමැති තරුණියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරනු ලබන මූලික පරීක්ෂණ සහ සාක්ෂි සටහන් කරගැනීමත් සමඟයි.  වෛද්‍ය පරීක්ෂණ වාර්තා සහ පොලිස් වාර්තාවලට අනුව නීපාගේ මරණය සිදුව ඇත්තේ දහවල් 11:00 ත් 12:30 ත් අතර කාලය තුළදීය.  ඇය මියගිය දින උදෑසන කාලයේදී ඇය පදිංචිව සිටි ස්ථානයට ඇගේ පෙම්වතා වන කලිඳු, හොඳම යහලුවෙක් වන විහාන් නමැති අයද පැමිණ තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වේ. ​මහනුවර පදිංචි 47 හැවිරිදි චාරුණී දසනායක මහත්මිය වන නීපාගේ මව, පොලිස් පරීක්ෂක රමේෂ් වික්‍රමනායක මහතා ඉදිරියේ සිය සාක්ෂිය ලබා දෙයි.  ඇය පවසන්නේ කොළඹ බෝඩින් වී අධ්‍යාපනය හැදෑරූ නීපා සමඟ ඇගේ හොඳම යෙහෙළිය වන සුෂ්මා මෙන්ම තවත් නීති විද්‍යාලයේම අධ්‍යාපනය හදාරන තරුණියන් දෙදෙනෙකු පදිංචිව සිටි බවයි. ​සිද්ධිය වූ දිනට පෙරදින රාත්‍රී 10:06 ට නීපා තම මවට දුරකථන ඇමතුමක් ලබාදී විනාඩි 8 ක පමණ වේලාවක් කතාබහ කර තිබේ.  එහිදී ඇය තමාට සුළු හෙම්බිරිස්සාවක් සහ කැස්සක් ඇති බවත්, ඖෂධ ලබාගෙන ඉක්මනින් නිදාගන්නා බවත් මවට පවසා ඇත. එ...

ලේලිගේ දිනපොත - 28 : තක්කලි වගාව හා වැඩ පුරුදු වීම

පළවෙනි පරිච්ඡේදය :

තක්කලි වගාව

ලේලිගේ දිනපොත - 28 : නැන්දම්මා තම යෙහෙළිය පියසීලීට තක්කලි වගාව පෙන්වීම.

ලුණු කැද

ඊයෙ රෑ මහත්තයයි, මමයි මහත්තයගෙ යාලුවෙක්ගෙ මගුල් ගෙදරක ගිහින් ආවෙ ගොඩක් රෑ වෙලා. 

නැන්දම්මට රෑ වෙනකල් ඇහැරගෙන ඉන්න එපා නිදියගන්න, අපි ඇවිල්ල දොරවල් ඇරගන්නම් කිව්වත් අපි එද්දිත් සාලෙට වෙලා නිදි කිර කිර බලාගෙන ඉන්නව.

අද ඉරිදා. ඊයෙ නැන්දම්ම රෑ වෙනකම්ම ඇහැරගෙන  හිටිය නිසා මම හිතුව අද ටිකක් එළිවෙනකල් නිදියගනියි කියල.

මගෙ ඒ අහිංසක සිතුවිල්ල කුඩුපට්ටම් කරගෙන අද පාන්දරම නැන්දම්මගෙ පොට් එලාම් එකක නෙවෙයි තුනහතරකම සද්දෙ ඇහුනෙ විස්සයි විස්ස මැච් එකක් පටන් ගන්න ලෑස්ති වෙනව වගේ 🥺

තවත් ටිකක් කොහොම හරි නිදියගෙන ඉදල කුස්සියට යද්දි නැන්දම්ම ලොකු හාල් කැද හැලියක් ලිපේ තියාගෙන කූරු ගානව.

“මොකද අම්මෙ ඔය කරන්නෙ. මොකටද මෙච්චර කැද ගොඩක් හදන්නෙ??” කියල අහද්දි…..

“ඊයෙ රෑ වෙනකං ඇහැරගෙන හිටපු හිංද වෙන්න ඇති. ගෑස් වගේ හොදටම බඩ දනව. ඉතින් මම කැද ටිකක් හදාගත්ත”

කිව්වෙ හරියට මම ලොකු වැරැද්දක් කරල වගේ.

හොද ටික හත් අටදෙනෙකුට ඇතිවෙන්න කැද හදල. 

“ඉතින් මෙච්චර හැදුවෙ ඇයි??” කියල ඇහුවම…..

මම විතරක් තනියම බොන්නයෑ. ඔයාලටත් එක්කම තමයි හැදුවෙ”කිව්වෙ “බිව්වෙ නැත්තං බලාගමු” වගේ ටෝන් එකකින්.

දැන් ඉතින් බීපල්ලකො උදේට ලුණු කැද 🥺 


වගාව පෙන්වීම

මේ දවස්වල නැන්දම්මට අලුත් වැඩක් හම්බවෙලා කරන්න. 

කුස්සියෙ පිටිපස්සට විසිකරපු තක්කලි ඇට වගයක් සරුවට පැලවෙලා දැන් පුංචි පුංචි මල්, ගෙඩි එහෙමත් ඇවිල්ල.දැන් නැන්දම්මගෙ වැඩේ ඒවලට සාත්තු කරනව උදේ හවස.

මම දවල් කුස්සියෙ උය උය ඉන්නකොට මට ඇහුන පිටිපස්සෙන් පියසීලී ඇන්ටිත් ඇවිල්ල නැන්දම්මත් එක්ක කතා කර කර ඉන්නව.

නැන්දම්ම පියසීලී ඇන්ටිව එක්කගෙන ගිහින් එයාගෙ තක්කලි වගාව පෙන්නන්න.

“මම තමයි පියසීලී ඉතින් මේ වගේ දෙයක්වත් කෙරුවොත් ඉතිං, දැන් ඉන්න එවුන් වවන්නෙ ගහටත් බඩටත් වැඩක් නැති දේවල්නෙ. සෝබනේ විතරයි”😐

කිය කිය නානා ප්‍රකාර දේවල් කියනව.යාලුවත් හූමිටි දිදී අහගෙන ඉන්නව.

ටික වෙලාවකින් මට ඇහුන….”අයියෝ…… මේ මොකද?? හොදටම කසනවනෙ. පලුත් ඇවිල්ල” කියල නැන්දම්ම කෑ ගහනව. 

මම ඉක්මනට ගියා මොකක්ද ඒ ඉනිම කියල බලන්න. මම යද්දි නැන්දම්ම අත් දෙකත් ගස ගස දගලනව අත් රතු වෙලා පලුත් ඇවිල්ල.

මම ඇහැව්ව “මොකක්ද උනේ??” කියල 

එතකොට පියසීලී ඇන්ටි කිව්ව “මෙයා මේ තක්කලි පැල අතගගා හිටිය එකපාරටම අත කසනව කියල කෑගහන්න ගත්ත” කියල.

මම එතන බලද්දි තක්කලි ගස්වල කොළ වල ලොකු බූලක් තියන දළඹුවො වගයක් ඉන්නව.

මම ඉක්මනට නැන්දම්මව එක්කගෙන ගිහින් පොල්තෙල් ගෑව හොදට. අත් සෑහෙන්න රතු වෙලා වෙලා පලු ගොඩක් ඇවිත්. ඒ නං සෑහෙන්න විස දලඹුවො වගයක්ද කොහෙද.

මදැයි නැන්දම්ම වවන්න ගියා. මේ දැනුත් මම බලල ආවෙ. තාමත් කෙදිරි ගානව, රිදෙනව ඇති. මමත් දැන් යනව නිදියගන්න.


දෙවෙනි පරිච්ඡේදය :

වැඩ පුරුදු වීම

ලේලිගේ දිනපොත - 28 : නැන්දම්මා , ලොකු අක්කා සමග ආහාර ගැනීම.

පාන් කෑම

අද මම ගෙදර ඉදන් වැඩ. ඉතින් උදේ නැගිටල වැඩ ටික ඉවර කරල මහත්තයව වැඩට පිටත් කලා. 

අද මහත්තය කොළඹින් පිට යනව. ඒක නිසා ඒ දේවලුත් ඔක්කොම ලෑස්ති කරල දීල පිටත් කලේ.

අද නැන්දම්ම නැගිට්ටෙ උදේ හතත් පහුවෙලා පුදුමයි. අතේ අමාරුවට නින්ද යන්න ඇති.

උදේට නැන්දම්මත් ආස නිසා සුදු කව්පි තැම්බුව. ඒකට ලුණුමිරිසකුයි, පොලුයි ලෑස්ති කලා 

මෙන්න නැන්දම්ම කියනව “අනේ අද මගෙ බඩ පුරෝදාල වගේ කව්පි නං කන්න බැහැ.පාන් කෑල්ලක් තිබුන නං හොදයි කියල 🙄

අනේ මට නං නැන්දම්මව තේරුම් ගන්න බැහැ අයියෝ…. අමුතු ජාතියෙ බෝල දාන්නෙ එක එක දවසට. වෙනදට උදේට පාන් එහෙම තිබුනොත් 

“අපෝ…මේ පාන් ලාටු කන්න පුලුවන්ද?? දැන් ඉන්න එවුන්ට උදේට ඇගට ගුණට ඇට වගේ දෙයක්වත් තම්බගෙන කන්න දන්නෙ නැහැ” කියනව.

මහත්තයට කෑම හදන්න ඕනෙ වුනේ නැති නිසයි, අද ඔෆිස් එකේ වැඩ අඩූවෙයි කියල හිතුව නිසයි උදේ ඉව්වෙ නැහැ. දවල් වෙලා උයාගන්න හිතුව.

ඒත් දවල් වෙද්දි හිතුවෙ නැති විදිහට ඔෆිස් එකේ වැඩ හොදටම වැඩි වුනා. ඒත් හොද වෙලාවට මහත්තයගෙ ලොකු අක්ක ආව අම්මව බලන්න.

ඉතින් එයා කිව්ව එයා උයන්නං කියල. මම ඉතින් මගෙ වැඩ ටික කරගත්ත.

අක්ක ඇවිල්ල කතා කලා එයාල කන්න යන්නෙ එනවද කියල. ඉතින් මමත් ගියා ඒගොල්ලොත් එක්ක කන්න.

නැන්දම්ම කෑම කන ගමන් කියනව “අද නං ලුණුඇඹුල් ඇතුව කටට රසට කෑම ටිකක් කනව” කියල.

එතකොට අක්ක ඇහැව්ව “රසයි නේද නංගි මගෙ කෑම??”කියල.

මම ඉතින් “ඔව් ඔව් හරි රසයි” කිව්ව. වෙන මොනව කියන්නද ඉතින් 😐

ගෙදර වැඩ කිරීම

ඉතින් කතා කර කර ඉන්නකොට අක්ක කිව්ව “පහුගිය දවස්වල මටත් ටිකක් අසනීප වුනානෙ. මේ කොන්දෙ කැක්කුමක් ඇවිල්ල. වැඩක්වත් කරගන්න බැරුව හිටියෙ” කියල.

එතකොට නැන්දම්ම කියනව “අනේ දුවේ… ඉතින් මටවත් කියන්න එපැයි. ඇවිල්ල උදව්වක්වත් වෙන්න තිබුනනෙ” කියල.

“අම්ම මොනව කරන්නද අම්මෙ ඇවිල්ල?? අම්මට පුලුවන් යෑ” කියල අක්ක කිව්වම…..

“ඉතින් කව්ද ගෙදර වැඩ ටික කලේ??” කියල මම ඇහැව්ව.

“මහත්තය තමයි නංගි ඔක්කොම කලේ. මට මාර ලේසියක් වුනා එයා හැමදේම කරපු නිසා” කියල කියද්දි නැන්දම්ම……

“අනේ වාසනාවන් එහෙම බෑණ කෙනෙක්.කොච්චර ලොකු දෙයක්ද එහෙම කරන එක කියද්දි තමයි මට මේ මැච් එකේ ‘පවර් ප්ලේ’ එක පටන් ගන්න හිතුනෙ.

ආ අම්මෙ….අම්ම කියනව නේද පිරිමින්ට ගෙදර වැඩ කරන්න දෙන්න හොද නැහැ කියල බබා මොනව හරි වැඩක් කරනකොට”

“එතකොට පුතා කරද්දි හොද නැහැ. බෑණ කරද්දි හොදයිද??” කියල මම අහනකොට නැන්දම්ම වචන පැටලි පැටලි….

“නෑ….මේ…අපේ පුතා පොඩි කාලෙ ඉදලම ගෙදර කිසි වැඩක් කරල නැති, වැඩක් දන්නෙ නැති කෙනෙක්නෙ” කියද්දි මම….

“අපි කවුරුවත් වැඩ කරන්න දැනගෙන ආපු අය නෙමෙයිනෙ අම්මෙ. වැඩ කරල තමයි පුරුදු වෙන්නෙ” 

කියල ලස්සන හිනාවකුත් දාල ඒ මැච් එක ඉවර කරල කාමරේට ආවෙ ලොකු අක්ක කටත් ඇරගෙන බලන් ඉන්නකොට.

මහත්තය ගෙදර එන්නෙ හෙට. අද මම තනියම නිසා ටිකක් වැඩියෙන් ලිව්ව. දැන් ඉතින් යනව නිදියගන්න 🥱


ලේලිගේ දිනපොත ඊලග කොටස >>

<< ලේලිගේ දිනපොත පෙර කොටස


Muthuwrites සියලුම කතාංග කියවන්න මෙතනින් පිවිසෙන්න   


Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම