ලේලිගේ දිනපොත - 31 : නැන්දම්මාගේ සිහිනය

 සිහිනය

Lelige Dinapotha - 31 : නැන්දම්මා පුතා සහ ලේලිය සමග පොඩි දුවගේ ගෙදර යාම.

සිහිනයේ අරුත

අදත් නිවාඩු දවසක්. ගොඩක් නිවාඩු දවස් වලට වගේම අදත් ඇහැරුනේ නැන්දම්මගෙ විකාරයකින්ම තමයි. 

නැන්දම්ම උදෙන්ම මහ හයියෙන් දොරට ගහන්න ගත්ත.අදත් මෙයා උදෙන්ම මැච් එකක් පටන් ගන්න වගේ යන්නෙ කියල හිතපු මම  නැගිටල දොර අරිද්දිම නැන්දම්ම මහ සද්දෙන්

“අනේ පුතේ මට දැන්ම පොඩි දුවලෑ ගෙදර යන්න ඕන. මම මහ නරක හීනයක් දැක්ක” 

කියාගෙන මාවත් තල්ලු කරගෙන මහත්තය ලගට ගියේ වේග පන්දුවක් දාන්න යන ක්‍රීඩකයෙක් වගේ.

මහත්තය නැගිටගෙන එලෝ මෙලෝ නැතුව බලාගෙන ඉන්නකොට නැන්දම්ම මහත්තය දිහා බලාගෙන ආයෙත් ඉස්සරින් කියපු එකම  කිව්ව.

“හරි හරි අම්මෙ, ඉතින් කළබල නැතුව ඉන්නකො. හීනෙකට බොරුවට බයවෙන්න ඕනයෑ. කෝල් එකක් දීල කතා කරන්නකො පොඩ්ඩක් අම්ම පොඩි අක්ක එක්ක”

කියල මහත්තය කියද්දි “කතා කරල හරියන්නෙ නැහැ පුතේ, මට දැන් එහෙ යන්න ඕනෙ. මට ත්‍රීවීල් එකක් කතා කරල දෙන්න. මම ලෑස්ති වෙන්නම්” 

කියල නැන්දම්මා එක හඩින් කියාගෙන ඉන්නව.

ඊට පස්සෙ මහත්තය මගෙ දිහා බලල 

“බබා එහෙනම් ඔයත් ලෑස්ති වෙන්න. අපි අම්මව අක්කලගෙ ගෙදරින් දාල එන ගමන් කොහෙන්හරි උදේට කෑමත් කාල ගෙදරට බඩු වගයක් අද ගන්න ඕන කිව්වනෙ ඒවත් අරගෙනම එමු” කිව්ව.

එතකොට නැන්දම්ම “ආයෙ මොකටද එහෙං මෙහෙං කන්නෙ. පොඩි දුවලගෙ ගෙදරින්ම කන්න පුලුවන්නෙ”

කියල නැන්දම්ම කියද්දි මහත්තය “හරි ඒක බලමුකො එතකොට” කියල මට කිව්ව “බබා ඔයා ගිහිං ඉස්සරින් තේ ටිකක් හදාගෙන එන්නකො” කියල.


විනෝද ගමන 

පස්සෙ අපි තුන්දෙනාම ලෑස්ති වෙලා ගමන යන්න පිටත් වුනා. මහත්තය අම්මගෙන් ඇහුව 

“අම්ම පොඩි අක්කට කිව්ව නේද දැන් එනව කියල. මොකද එයාල මොන දේවල් දාගෙන ඉන්නවද දන්නෙ නැහැනෙ අද කරන්න” කියල.

“ආ… ඒව හරි. මගෙ ළමයි මොන වැඩ තිබුනත් මම ගියාම මට සළකනව” කියල කිව්ව.

අපි ඒ ගෙදරට ගිහිල්ල බෙල් එක ගහද්දිම ඇවිල්ල දොර ඇරිය පොඩි අක්කගෙ මහත්තය අපි දිහා බැලුවෙ බයවෙලා වගේ. ඊට පස්සෙ එයා පොඩි අක්කට කතා කලා.

පොඩි අක්කත් බයවෙලා වගේ අපි දිහා බලල “මේ මොකද අනේ ඔයාල මේ උදෙන්ම ??” කියල අහද්දි, මහත්තය අම්ම දිහා බලල

“අම්ම දැන් පොඩි අක්කට කෝල් කලා කිව්ව නේද??” කියල ඇහැව්ව. එතකොට නැන්දම්ම….

“මගෙ දරුවගෙ ගෙදර එන්න මම කෝල් කර කර ඉන්න ඕනැයෑ” කියල එයාගෙ හීනෙ විස්තරේ කියන්න ගත්ත.

“අයියෝ අම්මත් හරි දවසෙ තමයි ආවෙ. අපි අද මෙයාගෙ යාලුවො කට්ටියක් එක්ක උණවටුනෙ ඉන්න යාලුවෙකුගෙ ගෙදර යන්න මේ ලෑස්ති වෙන්නෙ” කිව්ව.

එතකොට නැන්දම්මාගෙ මූණ නිකං බිංදුවට අවුට් වෙලා යන බැට්ස්මන් කෙනෙක්ගෙ වගේ වුනා.

“අම්මත් එහෙනම් යං අපිත් එක්ක” කියල පොඩි අක්ක කිව්වත් මට තේරුනා එයාගෙ ඉරියව් වලින් එයා අදහස් කරන්නෙ ඒක නෙමේ කියල.

පොඩි අක්ක එහෙම කියද්දිම නැන්දම්ම……

“මම නං ඔය ගමන් බිමන් වලට ඒ තරම් කැමති නං නැහැ තෙහෙට්ටුව වැඩි නිසා. ඒත් ඉතිං දුවගෙ ආසාවනෙ මම එන්නම්” 

කිව්වෙ බොහොම ආසාවෙන් කියල මට තේරුනා. ඒත් එතකොටම පොඩි අක්ක……

“ඔව් අම්මෙ අම්මට මහන්සි වැඩියි මේ ගමන් යන එක. අම්ම බයවෙන්න එපා අපි පරිස්සමින් ගිහින් එන්නම්” 

කිව්වෙ මං ඉස්සරින් හිතපු දේ ඇත්ත කරල.

“අනේ දුවේ ඔව්, හොදට පරිස්සමෙන් දෙයියන්ගෙ පිහිටෙන් ගිහිං එන්න” කියල නැන්දම්ම කිව්වෙ මූණ ඇඹුල් වෙද්දි.


මහත්තයගෙ අදහස් 

ඊට පස්සෙ එයාල ගමන යන්න කළබලෙන් ලෑස්ති වෙද්දි අපි එන්න පිටත් වුනා.

වාහනේට නැගල ටිකක් දුර යනකල්ම කිසිම දෙයක් නොකිය හිටිය නැන්දම්ම ඊට පස්සෙ කියනව….

“ඔහොම තමයි ඉතින් වැඩ රාජකාරි කරද්දි, යාලුමිත්තරයො ආස්සරේ කරද්දි ඔහොම ගමන් බිමන් යන්න වෙනව තමයි” කියල.

මහත්තය හිනාවෙලා නැන්දම්ම දිහා බලල කිව්ව

 “ හරි අපිත් යං දැන් ට්‍රිප් එකක්. මෙහෙමම බොල්ගොඩ වැව ලග තියන රෙස්ටුරන්ට් එකකින් උදේට කාල එහෙම ටිකක් වෙලා ඉදල යං” කියල.

“මේ ළමයගෙ කෝළං” කියපු නැන්දම්ම මගෙ දිහාත් බැලුවෙ මම මොනව කියයිද බලන්න වෙන්න ඇති.

ඔන්න ඔහොම තමයි අද දවස ගෙවුනෙ. දැන් මම යනව නිදියගන්න. හෙට උදෙන්ම ඔෆිස් යන්නත් ඕනෙ.

<<ලේලිගේ දිනපොත පෙර කොටස 

Muthuwrites සියලුම කතාංග කියවන්න මෙතනින් පිවිසෙන්න   


Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම