ලේලිගේ දිනපොත - 33 : නීති උපදෙස්
නැන්දම්මගෙ ඉමහත් ඉල්ලීමට ආයෙත් අලුත් ටීවී එක ගෙනල්ල සාලෙ හයි කලා.ඊට පස්සෙ ප්‍රශ්නෙ වුනේ එතන ටීවී බලන්න තිබුන සෝෆා එක. ඒක ගොඩක්ම පරණයි.
මම මීට ඉස්සරිනුත් ඒක අයින් කරල අලුත් එකක් ගම්මු කිව්වම, නැන්දම්ම මං මහ අපරාධයක් කරන්න කතා කලා වගේ අතීතකාමය ඉස්සරහට දාගෙන ඒ සෝෆා එකේ ජාතකේ කියන්න ගත්ත 😠
මට දැන් ටීවී එක එතන තිබ්බම සැපට වාඩිවෙලා ටීවී බලන්න වෙන සෝෆා එකක් ගන්න හොදටම උවමනාව තිබුනත් මම කට වහගෙනම හිටිය.
ඇදවෙච්ච සෝෆා එකේ හරිම අමාරුවෙන් ඉදගෙන නැන්දම්ම ටීවී එක බල බල හොරැහින් මගෙ දිහාත් බල බල ඉන්නව මේසෙ වැඩක් කර කර හිටිය මම දැක්ක.
ඔය ඉරියව්ව නම් නැන්දම්ම මොකක් හරි මැච් එකකට ලෑස්ති වෙන එකක් කියල මම හොදටම දන්නව. මමත් හොද ඉනිමකට ලෑස්ති පිට හිටියෙ.
ඊට පස්සෙ ටික වෙලාවකින් නැන්දම්ම හරිම සුන්දර කටහඩකින් මට කිව්ව……..
“දුවේ, මේ සෝෆා එක දැන් නම් අයින් කරන්න ඕනේ නේද? දැන්නම් මේකෙ ඉදගෙන ඉන්න හරි අමාරුයි” කියල. එතකොට මම කිව්ව
“ඇයි අම්මේ? තාම ඉඳගන්න පුළුවන්නේ.” කියල
“ඉඳගන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවෙ හරි කඩාගෙන වැටුණොත්?” කියල නැන්දම්ම කියද්දි විහිලුවෙන් කිව්ව……
“එහෙම වුණොත් නැගිටින්න පුළුවන්නේ” කියල
“ඔයාට නම් කිසිම දෙයක් ගැන ගාණක් නෑ. ඔක්කොම විහිලු”
කියපු නැන්දම්මා සෝෆා එකේ කොණකට ගිහින් ඉඳගත්තා.
මමත් හොරෙන් බැලුවා.
සෝෆා එක හොඳටම පරණ වුණාට, නැන්දම්මාගේ බර දරාගන්න තරම් නම් තාම ශක්තිමත්.
දවස් දෙකකට පස්සේ නැන්දම්මා ආයෙත් පටන් ගත්තා.
“පුතාට කියන්න දුවේ, අලුත් සෝෆා එකක් ගන්න ඕනේ කියලා.”
එතකොට මම, “අම්මේ, මට කියලා වැඩක් නෑනේ. ඔයාම පුතාට කියන්නකෝ.” කියල කිව්ව.
“මම කිව්වොත් පුතා කියයි වියදම් වැඩියි කියලා.” නැන්දම්ම කියද්දි මම කිව්ව “එහෙනම් මම කිව්වත් ඒකම කියයිනේ.” කියල.
නැන්දම්මා ටිකක් වෙලා මගේ මූණ දිහා බලාගෙන ඉඳලා,
“ඔයාට මේ ගෙදර කිසිම දෙයක් අලුත් කරන්න ඕනේ නෑ වගේ.” කියල කිව්ව.
මම හිනාවෙලා, “ඕනේ අම්මේ. හැබැයි සෝෆා එකට කලින් තව දේවල් තියෙනවා.” කියල කිව්ව.
“මොනවද?” කියල නැන්දම්ම අහද්දි..
“අපේ ඇඳේ මෙට්ටෙත් පරණයි. කුස්සියේ බ්ලෙන්ඩරෙත් අවුල්. වතුර ෆිල්ටරෙත් මාරු කරන්න ඕනේ.” කියල කිව්ව.නැන්දම්මා එකපාරටම නිහඬ වුණා.
මමත් ඊට පස්සෙ කාමරේට ගියේ හොද ඉනිමක් සෙල්ලම් කරපු සතුටත් එක්ක
එදා හවසම නැන්දම්මම පුතාට කිව්ව “පුතේ, ටීවී එක ලග තියන සෝෆා එක දැන් හොඳටම පරණයි. අපි අලුත් එකක් ගම්මුද?”කියල
මහත්තයා, “හරි අම්මේ. බලමු” කියද්දි, “බලමු නෙවෙයි පුතේ. ගන්න ඕනේ.” කියල කිව්ව.
“හරි හරි ඉන්නකො. අපි දවසක ගිහින් බලමු.” කියල කිව්ව.
පස්සෙ අද නිවාඩු දවසෙ මහත්තය කිව්ව අපි සෝෆා එකක් බලන්න යමු කියල.
“ඔයාටත් ඕනේ නම් අපි අද ගිහින් බලමු.” කියල මහත්තය කියද්දි මම……
“මට නම් කමක් නෑ. අම්මාටනේ ගොඩක් ඕනේ.” කියල මම කියද්දි මහත්තයා මගේ දිහා බලල
“අම්මාට විතරක් නෙවෙයිනේ. ඔයාටත් ඕනේ ඇති” කියල කිව්ව.
“මට නම් තියෙන එක හොඳයි.” කියල එතකොට මම කිව්ව නැන්දම්මටත් ඇහෙන්න එක්ක.
එතකොටම සාලෙන් නැන්දම්මා “අනේ පුතේ, තියෙන එකෙන් නම් දැන් වැඩක් නෑ.” කියල කිව්ව.
එතකොට මහත්තයා, “හරි අම්මේ. එහෙනම් අපි අද යමු.” කියද්දි
නැන්දම්මාගේ මූණ එකපාරටම මල් පිපුණා වගේ වුනා.
අපි තුන්දෙනාම ෆර්නිචර් ෂොප් එකකට ගියා.එතන සෝෆා ගොඩයි.
මහත්තයා,“ඔයාලා කැමති එකක් බලන්න.” කිව්ව.නැන්දම්මා එකින් එක බලනවා.
“මේක හොඳයි.”
“මේකත් ලස්සනයි.”
“මේකේ පාට නම් හොඳයි.”
මමත් නිහඬව ඉන්නවා.
අන්තිමට ලස්සන සෝෆා එකක් දැකලා නැන්දම්මා,
“මේක තමයි හොඳම එක.” කියල කිව්ව.
මහත්තයා මිල බලලා,
“හ්ම්… මේක ටිකක් ගණන්.”
නැන්දම්මාගේ මූණ වෙනස් වුණා.
“අනේ පුතේ, ගෙදරට ගන්න එකක්නේ. හොඳ එකක් ගන්න ඕනේ.” කිව්ව.
මම එතකොටම ‘පවර් ප්ලේ’ එක පටන් ගත්ත 🙂
“ඔව් අම්මේ. හොඳ එකක් ගන්න ඕනේ. හැබැයි ගෙදර අනිත් දේවල් ටිකත් බලලා.” කිව්ව.නැන්දම්මා මගේ දිහා බැලුවා.මහත්තයා……..
“මොන අනිත් දේවල්ද?” කියල අහද්දි මම බොහොම සාමාන්‍ය විදිහට,
“අපේ මෙට්ටෙත් පරණයි. බ්ලෙන්ඩරෙත් කැඩිලා. වතුර ෆිල්ටරෙත් මාරු කරන්න ඕනේ. ඒවාත් අරගෙන තමයි සෝෆා එක ගන්න ඕනේ.” කියල කිව්ව.
මහත්තයා මගේ දිහා බලලා,“ඒකත් ඇත්ත.” කියද්දි
නැන්දම්මා එකපාරටම,“අනේ පුතේ, ඒවා පස්සේ ගන්න පුළුවන්නේ. සෝෆා එක තමයි දැන් හදිසි.” කිව්ව.
මම ඒ වෙලාවේ මහත්තයා දිහා බලලා,“අම්මාට සෝෆා එක හදිසිලුනෙ. ඉතින් ඒක ගම්මු” කිව්ව.
මහත්තයා හිනාවෙලා,“එහෙනම් අම්මාට හදිසි එක ගමු. හැබැයි ඔයාගේ මෙට්ටෙත් අදම බලමු. බ්ලෙන්ඩර් එකයි, වතුර ෆිල්ටර් එකයි ලබන මාසෙ ගම්මු” කිව්ව.
නැන්දම්මාගේ මූණ දිහා බැලුවාම මට හිනා නවත්තගන්න බැරි වුණා.
මට ගන්න ඕනම වෙලා තිබුන සෝෆා එක විතරක් නෙමෙයි ඕන වෙලා තිබුන මෙට්‍රස් එකත් මට අද ලැබුන ගහපු මැච් එකෙන්.
ඒත් කතාව එතනින් ඉවර වුණේ නැහැ.
අපි අලුත් සෝෆා එක ගෙදර ගෙනාවා.
පරණ සෝෆා එක එළියට ගන්න වෙලාවේ නැන්දම්මා,
“අනේ මේක නම් හොඳටම පරණයි. කොච්චර කාලයක් අපි මේකේ ඉඳගෙන හිටියද, කියලා පරණ සෝෆා එකට අවසන් ගෞරව දක්වනවා වගේ කතා කළා.
අලුත් සෝෆා එක ටීවී ලග තියලා ඉවර වුණා විතරයි, නැන්දම්මා ඒකේ මැදම ඉඳගත්තා.
“අනේ පුතේ… මේක නම් හරිම සනීපයි නේද කියල ආයෙ කිව්ව “දුවේ, අලුත් දෙයක් ගත්තම ඒක පරිස්සම් කරගන්න ඕනේ.” කියල
“ඒක ඇත්ත අම්මේ. ඒ නිසා මම හිතුවේ මේ සෝෆා එකට ලස්සන කවරයක් දාමු" කියලා කිව්වම නැන්දම්ම……
“කවරයක්? ඒත් එතකොට මේකෙ ලස්සන නැතිවෙයිනේ.” කිව්ව.
මම හිනාවෙලා “එහෙම වෙන්නෙ නැහැ. දැන් ලස්සන කවර්ස් තියනව” කියල කිව්වම
“දැන් ඒකටත් සල්ලි යනවනෙ” කියල නැන්දම්ම කිව්ව.
“එහෙනම් ක්‍රමයක් තියනව සෝෆා එක පරිස්සම් කරන්න ” කියල මම කිව්වම නැන්දම්ම ඇහැව්ව “කොහොමද?” කියල.
“ ඉඳගන්නේ නැතුව තිබ්බොත් හොඳටම පරිස්සම් වෙයි.” කියල මම කිව්ව.
මහත්තයා ඒක ඇහුණ ගමන් හිනාවෙන්න පටන් ගත්තා.
නැන්දම්මා, “අනේ මන්දා මේ දැන් කාලෙ ළමයි නම්”කියලා නැගිටලා කාමරේට ගියා.
මහත්තයා මගේ දිහා බලලා,“ඔයාටත් තියෙන්නේ පුදුම කටක් තමයි.” කිව්ව
මම,”මං මොනවද කිව්වේ ඉතින්? සෝෆා එක පරිස්සම් කරන්නනේ කිව්වේ.” කියල කිව්ව.
“ඔව් ඔව්. මම දන්නවා.”කියපු මහත්තයත් හිනාවෙලා කාමරේට ගියා.
මම අලුත් සෝෆා එක දිහා බලලා තනියම හිනා වුණා.
අද මට තේරුන එක දෙයක් තමයි ගෙදරක අලුත් බඩුවක් එකක් ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඒක හොදට ප්ලෑන් කරල දිනන්න ඕන මැච් එකක් 😆
අද මගේ ගෙදර තරගයේ ලකුණු පුවරුව:
🏏 මම — සෝෆා සෝෆා එකකුත් අරගෙන්, මෙට්ටයකුත් අරගෙන අනිත් බඩු ගන්න කැමැත්තත් අරගෙන මැච් එක අවසන් කළා.
🏏 මහත්තයා — දෙපැත්තම සතුටු කරලා ගෙදර සාමය බේරගත්තා.
🏏 නැන්දම්මා — තමන් කැමති දේ කරගත්ත. ඒත් දිනුවෙ මම කියල දන්නෙ නැහැ .
අද නං හරි මහන්සි. දැන් නිදියගන්න යන්න ඕන 🥱
Muthuwrites සියලුම කතාංග කියවන්න මෙතනින් පිවිසෙන්න
Comments
Post a Comment