ලේලිගේ දිනපොත - 20 ( හාස්‍යයට පමණි ) by Muthuwrites
° පළවෙනි පරිච්ඡේදය :
අද නිවාඩු දවසක්. හැබැයි ඒත් ඇහැරෙන්න උනේ නම් පාන්දරම නැන්දම්මගෙ පොට් එලාම් එකටම තමයි. මම කුස්සියට යද්දි ලොකු කේතලයක් තියන් උතුරවනව.
හැමෝමත් එක්ක ලොකු හෝටලයකට ගියේ මැච් එක මගේ අතට ගන්න බලාගෙන.😊
හෝටලයට ගිහින් මේසෙට වාඩි වෙනකොටම හස්බන්ඩ් හිටියේ හරියට 'ටොස්' එක දිනන්න බලාගෙන ඉන්න කැප්ටන් කෙනෙක් වගේ බයෙන් බයෙන්.
අපි කෑම බෙදාගන්න බුෆේ ලයින් එකට ගියා. මම ඉතින් ප්ලේට් එකට සලාද කොළයි, සුදු බත් ටිකකුයි, චිකන් කෑල්ලක් විතරක් බෙදාගත්තේ.
නැන්දම්මා මගේ පිඟාන දිහා බලාගෙන, මට විතරක් ඇහෙන්න මෙහෙම කිව්වා:
"දැන් කාලේ ළමයින්ට කන්නත් බෑ, උයන්නත් බෑ. ඔය කොළ ජාති විතරක් කාලා කොහොමද ඇඟට පණක් ගන්නේ? අපේ කාලේ නම්..."
කියල අතීතකාමය පටන් ගන්නකොටම මම අනිත් පැත්තට ගියා හිමීට.
නැන්දම්මා පිඟාන පුරවලා බත් බෙදාගෙන, ඒ උඩින්, චිකන්, දැල්ලො, සොසේජස් ඔක්කොම තට්ටු පිටින් බෙදාගත්තේ හරියට 'පවර් ප්ලේ' එකේ සික්සර් ගහනවා වගේ 🥺
මම මුකුත් නොකියා හිනාවෙලා මේසෙට ආවා.
කන ගමන් නැන්දම්මා පුතාට කෑම බෙදන්න හැදුවා. "පුතා මේ දැල්ලෝ කරියෙන් ටිකක් දාගන්න, හරිම රසයි."
මම ඉක්මනට මැදට පැනලා, "අනේ අම්මේ, එයාට දැල්ලෝ දෙන්න එපා. ඊයේ රෑත් පපුව දන්නවා කිව්වා”
“අම්මලාගේ කාලේ වගේ නෙවෙයිනේ, දැන් අපිට ලෙඩ, ගොඩක් කෑම ජාති කන්න බෑ" කිව්වා.ඒ පාර හස්බන්ඩ් බයටම දැල්ලෝ කෑල්ල පැත්තකින් තිබ්බා.
නැන්දම්මා මගේ දිහා බැලුවේ හරියට 'වයිඩ්' බෝලෙකට 'අවුට්' වුණා වගේ නොරුස්සන බැල්මකින්. පළවෙනි ලකුණු ටික මගේ පැත්තට ☺️
මැච් එක ඉවර කරන්න වෙලාව ආවා. ඒ කියන්නේ ඩෙසර්ට් කන වෙලාව. මම ඉතින් පුඩිං, අයිස්ක්‍රීම්, කේක් ජාති හතර පහක්ම පිඟානට දාගෙන මේසෙට ආවේ දිනපු හැඟීමෙන්.
නැන්දම්මා එකපාරටම වේටර් කෙනෙක්ට ළඟට අඩගැහැව්ව.
"පුතා, මෙන්න මේ පිඟානේ තියෙන ජාති මොනවාද?" කියලා මගේ ඩෙසර්ට් පිඟාන පෙන්නුවා.
වේටර් ඉතින් හරිම උනන්දුවෙන්, "මැඩම්, මේකේ තියෙන්නේ චොකලට් මූස්, මේකේ බ්ලූබෙරි චීස්කේක්, මේකේ ඩබල් ක්‍රීම් අයිස්ක්‍රීම්..."
කියලා ලොකු විස්තරයක් කෙරුවා.නැන්දම්මා හස්බන්ඩ් දිහා බලලා,
"ආ... මම බැලුවා මේ දුව මොනවද මේ වටලප්පන්, අයිස්ක්‍රීම් හොයාගන්න බැරුව එක උඩ එක පටවගෙන තියෙන්නේ කියල” ඊට පස්සෙ කිව්ව....
“අපේ කාලේ නම් බුෆේ එකකට ගියත් කෑම ජාති පිළිවෙළකට බෙදාගෙන කන ශිෂ්ටාචාරයක් තිබුණා. දැන් ඉතින් සල්ලි තිබුණට හැදියාවක් නෑනේ” කියල.
හස්බන්ඩ් එකපාරටම කැස්සක් දාගෙන බිම බලාගත්තා. වේටර් හිනාව තද කරගෙන මාරු වුණා.
අන්තිම ඕවරේදී මගේ 'විකට්' එකත් කුඩු කරලා, නැන්දම්මා 'මැච් එකේ වීරයා' සම්මානයත් එයාගෙ කියල වගේ හිටියෙ හරිම ආඩම්බරෙන් 😂
කෑම කලා ඉවර වෙලා හැමෝම බඩවල් පුරවගෙ ඉන්නකොට, හස්බන්ඩ් හෙමින් සැරේ සාක්කුවට අත දාලා පර්ස් එක ඇද්දා.
මම ඉක්මනට එයාගෙ අතින් අල්ලලා, නැන්දම්මාට ඇහෙන්නම මෙහෙම කිව්වා:
"ඔයා ඕක තියාගන්න අනේ. අද මගේ පඩි හම්බවුණ දවසනේ. මම අම්මටයි ඔයාටයි සංග්‍රහ කරන්නේ."
කියලා හරිම ආඩම්බරෙන් මගේ ඩෙබිට් කාඩ් එක පර්ස් එකෙන් එළියට ගත්තේ හරියට 'මැච් එක දිනන්න තව එක ලකුණයි ඕනේ' වගේ හැඟීමකින්.
නැන්දම්මා ඒක දැකලා කට කොණකින් හිනාවෙලා,
"දැන් කාලේ ළමයින්ට ඉතින් රස්සාවල් තියෙන නිසා හොඳයි. අපේ කාලේ නම් පිරිමින්ගේ සල්ලිවලින් තමයි අපි කෑවේ බීවේ, ගෑණුන්ගේ සල්ලි පිරිමි ඇල්ලුවෙත් නෑ"
කියලා පළවෙනි 'බවුන්සර්' පන්දුව එල්ල කෙරුවා.මමත් ඉතින් ලෙහෙසියෙන් අතහරින කෙනෙක් නෙවෙයිනේ.🙂
වේටර් බිල ගෙනත් මේසෙන් තියනවාත් එක්කම මම කාඩ් එක බිල් පොත ඇතුළෙන් තිබ්බා. තියලා නැන්දම්මා දිහාට හැරිලා හරිම අහිංසක හිනාවක් දාලා මෙහෙම කිව්වා:
"අනේ ඒක ඇත්ත අම්මේ. ඒ කාලේ ඉතින් පිරිමින්ට තනියම ගෙයක් දොරක් නඩත්තු කරන්න පුළුවන්කම තිබුණනේ. දැන් ඉතින් එහෙම බෑනේ…”
“මම මේ මාසෙත් ගෙයි ලෝන් එකටයි, කරන්ට් බිලටයි දෙකටම සල්ලි දැම්මා. නැත්නම් ඉතින් පුතාට තනියම මේවා කරගන්න අමාරුයිනේ."
ඒ පාර නම් නැන්දම්මාගේ මූණ රතු වුණා. හස්බන්ඩ් එකපාරටම වතුර වීදුරුව අරන් එක හුස්මට බීලා දැම්මේ ඊලගට අම්මා මොනවා කියයිද දන්නේ නැති බයට වෙන්න ඇති.
ඒ පාර නම් 'ස්ට්‍රේට් ඩ්‍රයිව්' එක කෙළින්ම හතරේ සීමාවෙන් එළියට. හොටෙල් මැච් එක ඉවර වුනේ ඔන්න ඔය විදිහට 😄
° දෙවෙනි පරිච්ඡේදය :
අද ඉරිද අද නම් කිසිම එලාම් එකක් වැදුනද කියලවත් දන්නෙ නැහැ. ඒ තරම් තදට නින්ද ගියා උදේ.
කොට කලිසමකුයි, ටී-ෂර්ට් එකකුයි ඇඳගෙන, කොණ්ඩෙත් උඩට කරලා බැඳගෙන, වැකියුම් ක්ලීනර් එකත් අරන් වැඩේට බැස්සේ හරියට 'T20' මැච් එකක් පටන් ගන්නවා වගේ වේගයෙන්.
හස්බන්ඩ් සාක්කුවේ දෑත් දාගෙන බයෙන් බයෙන් කාමරේ පැත්තට එබිලා බලලා මෙහෙම කිව්වා:
"පැටියෝ... අම්මා සාලේ ඉන්නවා. ඔය ඇඳුම දැක්කොත් මොනවා කියයිද දන්නේ නැහැ. පොඩ්ඩක් පරිස්සමෙන්."😏
මම ඉතින් 'කැප්ටන්' කෙනෙක් වගේ පපුව ඉස්සරහට දාලා,
"එයාගේ කාලේ වගේ නෙවෙයිනේ අනේ, වැඩක් කරද්දී ලේසි ඇඳුමක් අඳින්න ඕනේ" කියලා පළවෙනි පන්දුවටම බැට් එක එසෙව්වා.
මම වැකියුම් ක්ලීනර් එකේ සද්දෙත් දාගෙන කාමරේ දූවිලි අදිනකොට, නැන්දම්මා දොරකඩට ඇවිත් හිටගත්තා.
අම්මා වැකියුම් ක්ලීනර් එක දිහා බලලා, පස්සේ මගේ ඇඳුම දිහා උඩ ඉඳන් පල්ලෙහාට බලලා මෙහෙම කිව්වා:
"අනේ මන්දා දුවේ, ඔය මැෂින් එකෙන් ඇද්දට ඔය අස්සවල්වල තියෙන දූවිලි යන්නේ නැහැ”
“අපේ කාලේ නම් අපි ඉණ වටා රෙද්දක් ඇඳගෙන, කොස්සයි රෙදි කෑල්ලයි අරන් දණගාලා පිහින්නේ”
“එතකොට තමයි ගෙදරක පිරිසිදුකම තියෙන්නේ. මේවා ඉතින් නමට විතරක් කරන සෝබන වැඩනේ."😐
මම වැකියුම් ක්ලීනර් එක ඕෆ් කරලා, හරිම අහිංසක විදිහට මෙහෙම කිව්වා:
"අනේ ඒක ඇත්ත අම්මේ. ඒ කාලේ ඉතින් ගෑණුන්ට වෙන වැඩක් තිබුණේ නැහැනේ ගේ අස් කරනවා ඇරෙන්න”
“මට මේ ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එකක රිපෝට් එකක් හදන්නත් තියෙනවා අද දවල්ට. ඒකයි ඉක්මනට කරන්නේ."
නැන්දම්මා 'ගස්සගෙන' සාලේ පැත්තට ගියේ පළවෙනි විකට් එක මට දෙමින්. මම හිතින් හයේ පාරක් ගැහුවා කියලා සතුටු වුණා.
ටික වෙලාවකින් හස්බන්ඩ් කාමරේට ආවා මට උදව් කරන්න කියලා.
එයා ඇඳ යට තිබ්බ පරණ පෙට්ටි වගයක් එළියට අදින්න හැදුවා විතරයි, එකපාරටම "හච්චිස්..." ගාලා මහා හයියෙන් කිවිසුම් ඇරියා. හෙම්බිරිස්සාව ආයෙත් ඇවිස්සුණා වගේ.
හස්බන්ඩ් ඇඳ උඩට වැටිලා නහය රතු කරගෙන ඉන්නකොට, නැන්දම්මට ඒ සද්දෙ ඇහිලද කොහෙද රෙදි කෑල්ලකුත් අරන් කාමරේට කඩා වැදුණා.
"මම කිව්වා නේද? ඔය මැෂින් එකේ බොරු සද්දෙ විතරයි” කියල කියපු නැන්දම්මා රෙදි කෑල්ලෙන් ඇඳ වටේට වේගයෙන් ගසන්න ගත්තා.
අම්මා ගසපු ගැසිල්ලට වටේ තිබ්බ දූවිලි ඔක්කොම එකපාරටම මතු වෙලා මුළු කාමරේම දුම් වලාවක් වගේ වුණා.
දූවිලි වලාකුළ මැද්දෙන් මටයි, හස්බන්ඩ්ටයි දෙන්නටම එක දිගට කිවිසුම් යන්න ගත්තා. මගේ ඇස් දෙකෙන් කඳුළු පනිනවා.🤧
නැන්දම්මා රෙදි කෑල්ලත් කරට අරන්, හරියට මැච් එක දිනපු ගැම්මෙන් මගේ දිහා බලලා මෙහෙම කිව්වා:
"දැක්කා නේද දුවේ? දූවිලි ගිය හැටි?? ගෙදරක වැඩක් කරන්න පළපුරුද්දක් තියෙන්න ඕනේ”
“ඔය කලිසම් කෑලි ඇඳගෙන, මැෂින් ඇදගෙන සද්ද දාන්න හැදුවට වැඩක් වෙන්නේ නැහැ. ගෑණු වුණාම පිළිවෙළකට ගේ දොර අස් කරන්න ඉගෙන ගන්න ඕනේ” කිව්ව.
හස්බන්ඩ් නහයත් පිහදාන ගමන්, 'තර්ඩ් අම්පයර්' කෙනෙක් LBW එකක් "අවුට්" තීරණය දුන්නාම බිම බලාගෙන ක්‍රීඩාගාරයට යන පිතිකරුවෙක් වගේ, මගේ දිහා අසරණ බැල්මක් දාලා බෙඩ්ෂීට් එක පොරවගත්තා.
අන්තිමට නැන්දම්මා රෙදි කෑල්ලෙන් 'Hat-trick' ගත්ත වගේ, විජයග්‍රහණය තහවුරු කරගෙන කුස්සියට ගියේ "මම පුතාට කොත්තමල්ලි ටිකක් තම්බන්නම්" කියාගෙන.
මම වැකියුම් ක්ලීනර් එක දිහා බැලුවෙ මේව කොහොම තේරුම් කරල දෙන්නද කියල, හරියට ටීම් එකකට අලුතින් ආව කෝචර් කෙනෙක් වගේ. 🤔
ලේලිගේ දිනපොත Previous Episode


Comments
Post a Comment