ලේලිගේ දිනපොත - 21 - නැන්දම්මගෙ බයික් සෙල්ලම හා බලු සුරතල් - ( හාස්‍යයට පමණි ) by Muthuwrites
පළවෙනි පරිච්ඡේදය :
නැන්දම්මගෙ බයික් සෙල්ලම
නැන්දම්මා කුස්සියට ගිහින් වළං සද්ද කරන්න කම්මැලි දවසට අපිව ඇහැරවන්න කරන්නෙ මහ හයියෙන් ගාථා කියන එක.
මම කන්දෙක බෙඩ්ෂීට් එකෙන් හයියෙන් වහගෙන තව ටිකක් හොදට නිදාගත්ත.
ඊට පස්සෙ නැගිටල කුස්සියට යද්දි නැන්දම්මා අහනව “අද නිවාඩු නේද?? ඇයි ඉතින් දුව තව ටිකක් නිදාගත්තෙ නැත්තෙ කියල 🙃
“අනේ අම්මෙ බලන්නකො. සැනසිල්ලෙ නිවාඩූ දවසෙ ටිකක් නිදියගෙන ඉන්නකොට මූසල කුරුල්ලෙක් ජනේලෙ ලගටම ඇවිල්ල කෑගහන්න ගත්තනෙ”
කියල කියද්දිම මගෙ දිහා ඇස් දෙක ලොකු කරල බලපු නැන්දම්ම එතනින් ගියා නෙමෙයි විසි වුනා.
මමයි හස්බන්ඩ්නුයි උදේට කාල සාලෙට වෙලා නිදහසේ තේ බොමින් හිටියේ.
එකපාරටම ගේ ඉස්සරහා මහා සද්දෙන් අලුත්ම වර්ගයේ ස්පෝර්ට්ස් මෝටර් බයික් එකක් නැවතුණා.
බලද්දී ඒ ආවේ වෙන කවුරුත් නෙවෙයි, නැන්දම්මාගේ බාල නංගියි එයාගේ පුතයි.
පුතා ඉතින් අලුත්ම රේසිං බයික් එකක් අරන් පුංචි අම්මවත් තියාගෙන අපේ ගෙදර ඇවිත් "ෂෝ ඕෆ්" එකක් දාන්න 🙂
කාමරේ හිටපු නැන්දම්මා බයික් එකේ සද්දෙට එලියට දිව්වා. පුංචි අම්මා බයික් එකෙන් බැහැලා,
"දැක්කද අක්කේ.. අපේ පුතා මේක ගත්තේ ඊයේ. ලක්ෂ ගාණක් වුණා. මේ වගේ ඒවාවල යද්දී මාර ෂෝක් අනේ”
කියලා නැන්දම්මා ඉස්සරහා ලොකු "ඉනිමක" ආරම්භයක් ගත්තා.
නැන්දම්මාගේ මූණ නිකන් අඟුරු කෑල්ල වගේ වුණා. තමන්ගේ පුතාට වඩා නංගිගේ පුතා ඉස්සර වුණාම නැන්දම්මාට ඒක දරාගන්න අමාරුයිනේ.
"ඕවා මොනවාද නංගී.. අපේ පුතත් ඔය වගේ එකක් ගන්නයි හැදුවේ. මමයි එපා කිව්වේ ඕවා රේස් පදින උන්ගේ බයික් කියලා,"
කියලා නැන්දම්මා ශේප් එකේ කඩුල්ල බේරගන්න හැදුවා.
හැබැයි පුංචි අම්මා අත හැරියේ නැහැ.
"අනේ නෑ අක්කේ, ඔයාට බයයිනේ. බලන්නකෝ මේකේ ලස්සන. ඔයත් නැගලා බලන්නකෝ පොඩ්ඩක්,"
කියලා නැන්දම්මාට අභියෝග කළා.
නැන්දම්මාත් ඉතින් "මැච් එක" පරාද වෙන්න බැරි නිසා, "මම නොනගින්න මොකද??" කියලා බයික් එකට ගොඩවෙන්න "ෆුට්වර්ක්" දැම්මා. 😑
මෙන්න නැන්දම්මා එක කකුලක් බයික් එක උඩින් දාලා නගින්න හැදුවා විතරයි බයික් එකේ බැලන්ස් එක නැති වෙලා නැන්දම්මා වැටෙන්න ගියා.
"අයියෝ.. මාව අල්ලගන්ඩෝ.." කියාගෙන නැන්දම්ම බයික් එකත් එක්කම පැත්තකට ඇල වුණා.
වාසනාවකට හස්බන්ඩ් දුවගෙන ගිහින් නැන්දම්මාව බිම වදින්න නොදී බේරගත්තා.
හැබැයි ඒ අස්සේ නැන්දම්මා බේරෙන්න අල්ලපු පාර, බයික් එකේ තිබ්බ අලුත්ම දිලිසෙන සයිඩ් මිරර් එක කඩන් අතටම ආවා.
පුංචි අම්මාගේ මූණ දෙක වුණා. "අනේ අක්කේ බයික් එකේ කන්නාඩිය!" කියලා කෑගැහුවා.
නැන්දම්මා බිම ඉඳගෙන, කොන්දත් අතගාන ගමන්, "මොන මඟුල් බයික් එකක්ද මේ? අඟලක් නැග්ගේ නැහැ කන්නාඩි ගැලවෙනවා” 😡
“මේවට අහුවෙන උන් රවට්ටන්න හදන බාල බඩු නංගී. අපේ කාලේ බයික් වගේද මේවා?"
කියලා තමන්ගේ වැරැද්ද වහගන්න ප්‍රතිප්‍රහාරයක් එල්ල කළා.
මම ඉතින් හිමීට කඩලා තිබුණ සයිඩ් මිරර් එක අතට අරන් මෙහෙම කිව්වා.
"අනේ පුංචි අම්මේ කෑගහන්න එපා. අම්මා මේ කන්නාඩිය කැඩුවේ ඕනෑකමින් නෙවෙයිනෙ.
”අනිත් එක අම්මා මේ තමන්ගේ ජීවිතේ ගැනවත් නොහිතා, බයික් එකේ ශක්තිය බලල තියෙන්නෙ”
"බලන්නකෝ ඉතින් මේක පුංචි ඇදිල්ලකටත් කැඩුණානේ. අම්මා මේ ඔයාලගේ ජීවිත බේරුවේ," කියලා මම අහිංසක මූණකින් දැවැන්ත "හයේ පහරක්" ගැහුවා! 😉
පුංචි අම්මා එතකොට
"ඇත්තද අක්කේ…. ඔයා බයික් එකට නැග්ගේ බයික් එකේ වැරදි හොයන්නද?" මට තේරුනා ඔයා වැටුනට පස්සෙ කියපු දෙයින්” කියලා රවලා බලද්දී,
නැන්දම්මා ලැජ්ජාවටම "මට කොන්ද රිදෙනවා, මම ඇතුළට යනවා" කියලා කොර ගගහ කාමරේට දිව්වා ("ක්ලීන් බෝල්ඩ්")
පුංචම්මගෙ පුතාටත් හොදටම හිනා ගිහිල්ල “මරු දෙන්න” කිව්ව.
රෑ වෙද්දී හස්බන්ඩ් කාමරේට ආවේ හිනාව තද කරගෙන.
"බබා.. ඔයා නම් මාරම ලේලි කෙනෙක්. බයික් එකෙන් වැටිලා කන්නාඩියත් කඩපු අපේ අම්මව, බයික් 'කොලිටි ටෙස්ටර්' කෙනෙක් කරානේ”
කියලා මහත්තයා මගේ ඔලුව අතගෑවා. 😊
📊 අද බයික් මැච් එකේ ස්කෝර් එක,
මගෙන්, නැන්දම්මාගේ ලැජ්ජාව සහ පුංචි අම්මාගේ කේන්තිය මැදින් විකට් එක ආරක්ෂා කරගනිමින් ගහපු සුපිරි සෙන්චරියක් .
නැන්දම්මා, නංගි ඉස්සරහා පොර වෙන්න ගිහින්, බයික් එකත් පෙරළගෙන, කන්නාඩියත් කඩාගෙන, බිමට වැටිල "හිට් විකට්" වුණා.
මහත්තයා අන්තිමට තමන් කරපු නැති වැරැද්දකට ලොකු දඩයක් කෑව බයික් කණ්ණාඩිය හදල දෙන්න වෙලා.
බලමු හෙට නැන්දම්මාගේ කොන්දේ අමාරුවට මොන වගේ "ටූර්නමන්ට්" එකක් පටන් ගනියිද කියලා දැන්නම් හොදටම නිදිමතයි 😴
දවල් වෙනකම් පිච් එක ටිකක් නිශ්ශබ්දව තිබුණේ ලොකු තරඟාවලියකට කලින් එන කුණාටු සලකුණක් පෙන්නුම් කරමින් 😐
ඒ සලකුණ සැබෑ කරමින් දවල් හස්බන්ඩ්ගෙ හොදම යාළුවෙක් එයාගෙ බල්ලව අපේ ගෙදර තියල යන්න ආව ඉස්සරින් දවසක කතා කරගෙන තිබුන විදිහට.
එයාල සතියකට පිටරට ට්‍රිප් එකක් යනව, ඒ නිසයි එයාලගෙ බල්ලව අපේ ගෙදර තියල යන්නෙ.
බල්ලගෙ නම රොකී.ඇත්තටම රොකී කියන්නේ හරිම ලස්සන චූටි"පොමරේනියන්" වර්ගයේ හුරතල් බල්ලෙක්.
යාළුවා රොකීවයි, එයාගේ කෑම පැකට්, සෙල්ලම් බඩු ඔක්කොමයි සාලෙන් තියලා යන්න ගියා විතරයි, කාමරේ හිටපු නැන්දම්මා සාලෙට "ඕපනර්" කෙනෙක් වගේ බැස්සා.
නහයත් හකුළුවාගෙන රොකී දිහා බලපු නැන්දම්මා, එකපාරටම මහා හයියෙන්
"අපෝ...!!! මොන කරුමයක්ද මේ? ගෙවල් අස්සට බල්ලො ගේන්නේ? මුගේ ලොම් හැලෙයි, මට ඇදුමත් හැදෙයි”
“අපේ කාලේ නම් බල්ලෝ හිටියේ කුස්සියෙන් එළියේ, මිදුලේ මුරට. දැන් කාලේ ළමයින්ට තමන්ගේ මිනිස්සුන්ට සලකන්න බැහැ, හැබැයි බල්ලෝ නළවන්න නම් දන්නවා"
කියලා කෙලින්ම මගේ පැත්තට ලොකු ෂෝට් පිච් පන්දුවක් එල්ල කරා. 😑
මම ඉතින් හිනාවෙලා, රොකීව වඩාගන්න ගමන්…...
"අනේ නෑ අම්මේ... මම මේ රොකීව බාරගත්තේ අම්මා ගැන හිතලමයි. අම්මා හැමතිස්සෙම කියනවනේ වයසට යද්දී තනිකම වැඩියි, කතා කරන්න කෙනෙක් නැහැ කියලා”
“ඉතින් ටික දවසක් මේ රොකිත් එක්ක ඉන්න.මහත්තයයි මමයි ඔෆිස් ගියාම අම්මට පාලුයිනේ”
“රොකී කියන්නේ හුරතල් බුද්ධිමත් බල්ලෙක් අම්මේ, අම්ම කියන ඕනෑම දෙයක් වලිගය වන වනා අහගෙන අම්මත් එක්කම ඉදියි” කිව්ව.
“අම්මට දැන් පියසීලී ඇන්ටි එනකම් බලන් ඉන්න ඕනේ නැහැ, ඕනෑම කතාවක් මුට කියන්න පුළුවන්," කියල මම එක පයින්ම "සික්සර්" පාරක් ගැහුවා. 😉
නැන්දම්මා "හ්ම්... බලමුකෝ ඕකා කරන හරිය" කියලා ඔරවගෙන කාමරයට වැදුණා. (පළමු ඉනිම ඉවරයි)
ඔන්න ඉතින් හැබෑ සෙල්ලම පටන් ගත්තේ අද හැන්දෑවෙ.රොකී සාලේ පුරා දුවද්දී නැන්දම්මා කාමරෙන් ආවේ "ලෝක යුද්ධය" ප්‍රකාශ කරන්න වගේ.
"මට මේ සතා නිසා සාලෙටවත් එන්න නැහැ,මුගේ සද්දෙට මට නිදාගන්නත් නැහැ" කියාගෙන නැන්දම්මා සෝෆා එක උඩින් වාඩි වුණා.
හැබැයි ඒ වෙලාවේ රොකී කරපු වැඩෙන් මට හිනාව තද කරගන්න බැරි වුණා.
රොකී හිමීට නැන්දම්මා ළඟට ගිහින්, එයාගෙ ඔලුව නැන්දම්මාගේ කකුල උඩින් තියලා, හරිම අහිංසක විදිහට නැන්දම්මාගේ මූණ දිහා බලන් හිටියා.
ටික වෙලාවකින් නැන්දම්මාගේ "නපුරු පෙනුම" දිය වෙලා යනවා මම කුස්සියේ ඉඳන් හොරෙන් බලාගෙන හිටියා.
"අනේ මන්දා... මූත් නිකන් අසරණයා වගේ බලන් ඉන්නවා" කියලා නැන්දම්මා හිමීට රොකීගේ ඔලුව අතගාන්න පටන් ගත්තා! 😮
හවස් වෙද්දී සුපුරුදු පරිදි පියසීලී ඇන්ටි අපේ ගෙදරට කඩා වැදුණා. සාලේ ඉන්න බල්ලව දැක්ක ගමන් ඇන්ටි කෑගැහුවා.
"අයියෝ ... මොකද මේ සාලේ අස්සේ බල්ලෙක්? ඔයාට හෙම්බිරිස්සාව හැදෙනවා ඕකගේ ලොම් වලට," කියලා පියසීලී ඇන්ටි බල්ලට බනින්න ගත්තා.
මෙන්න මෙච්චර වෙලා බල්ලට බැන බැන හිටපු නැන්දම්මා එකපාරටම රොකීව තමන්ගේ ඔඩොක්කුව උඩට වඩාගත්තා.
වඩාගෙන, "අනේ නෑ පියසීලී... ඔයා දන්නේ නැහැ මුගේ ගුණ. මිනිස්සු වගේ නෙවෙයි, මූ හරිම ගුණවත් සතෙක්”
“මම මොනවා කිව්වත් මගේ මූණ දිහා බලන් ඉන්නවා. මට පාලුවක් නැහැ” කියලා නැන්දම්මා පියසීලී ඇන්ටි ඉස්සරහා ලොකු "ලකුණු පුවරුවක්" හැදුවා. 😂
මම ඉතින් ඒ වෙලාවේ තේ කෝප්ප දෙකත් අරන් සාලෙට ආවා.
"ඔව් පියසීලී ඇන්ටි, අම්මා කිව්වා වගේම රොකී හරිම හුරතල්, හරිම ෂෝක්” කියල අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුව.
“හැබැයි ඉතින් හැමදාම රොකීව උදේ හවස මිදුලේ ටිකක් ඇවිද්දවන්න ඕනෙ”
“මටයි, හස්බන්ඩ්ටයි ඔෆිස් වැඩත් එක්ක ඒක කරන්න අමාරු නිසා, අම්මා තමයි රොකීව මිදුලෙ වටේ ඇවිද්දවන්න බාරගත්තේ”
“අම්මා කිව්වා ඒකෙන් අම්මාගේ ඇඟේ පතේ අමාරුවටත් හොඳ ව්‍යායාමයක් වෙනවා කියලා" මම කිව්වේ හරිම අහිංසක මූණක් දාගෙන.
පියසීලී ඇන්ටි "ඇත්තද.... ඔයා දැන් බල්ලෝ ඇවිද්දවන්නත් යනවාද?" කියලා උපහාසයට හිනාවෙද්දී, නැන්දම්මා මගේ දිහා බලපු බැල්මට මාව එතනම අළු වෙලා යන්න තිබුණා. "ක්ලීන් බෝල්ඩ්" 💥
රෑ වෙලා මහත්තයා කාමරයට ආවේ බඩ අල්ලාගෙන හිනාවෙවී.
"බබා... ඔයා නම් මාරම කෙනෙක් අනේ. බල්ලන්ට අකමැති අපේ අම්මව ලබන සතිය වෙනකම් බල්ලා ඇවිද්දවන 'ට්‍රේනර්' කෙනෙක් කරානේ" කියලා මහත්තයා හිනා වුණා.
අද මැච් එකේ ස්කෝර් එක,
මගෙන්, බල්ලාගේ පිහිටෙන් නැන්දම්මාගේ තනිකමයි, කේන්තියයි දෙකම පාලනය කරපු සුපිරි විකට් රැකගැනීමක්.
නැන්දම්මා බල්ලට බැන බැන ඉඳලා, අන්තිමේදී යාළුවා ඉස්සරහා චාටර් නොවී ඉන්න ගිහින් තමන්ම "හිට් විකට්" වුණා. දැන් ඉතින් ලබන සතිය වෙනකම් රොකීව ඇවිද්දවන්නත් සිද්ධ වෙනවා.
මහත්තයා: සාලේ සිදුවන නාට්‍ය දෙස බලා සද්ද නැතුව පැත්තකට වී "තෙවැනි විනිසුරු" වගේ සතුටු වුණා.
අද නම් හරිම මහන්සියි, නිදිමතයි 😴
ලේලිගේ දිනපොත Previous Episode


Comments
Post a Comment