නීපා - කදුළු කැටයම - Episode 02 : සාක්ෂි සටහන් කරගැනීම

Image
සාරාංශය : මෙම කථාංගය ආරම්භ වන්නේ නීති විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නීපා නැමැති තරුණියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරනු ලබන මූලික පරීක්ෂණ සහ සාක්ෂි සටහන් කරගැනීමත් සමඟයි.  වෛද්‍ය පරීක්ෂණ වාර්තා සහ පොලිස් වාර්තාවලට අනුව නීපාගේ මරණය සිදුව ඇත්තේ දහවල් 11:00 ත් 12:30 ත් අතර කාලය තුළදීය.  ඇය මියගිය දින උදෑසන කාලයේදී ඇය පදිංචිව සිටි ස්ථානයට ඇගේ පෙම්වතා වන කලිඳු, හොඳම යහලුවෙක් වන විහාන් නමැති අයද පැමිණ තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වේ. ​මහනුවර පදිංචි 47 හැවිරිදි චාරුණී දසනායක මහත්මිය වන නීපාගේ මව, පොලිස් පරීක්ෂක රමේෂ් වික්‍රමනායක මහතා ඉදිරියේ සිය සාක්ෂිය ලබා දෙයි.  ඇය පවසන්නේ කොළඹ බෝඩින් වී අධ්‍යාපනය හැදෑරූ නීපා සමඟ ඇගේ හොඳම යෙහෙළිය වන සුෂ්මා මෙන්ම තවත් නීති විද්‍යාලයේම අධ්‍යාපනය හදාරන තරුණියන් දෙදෙනෙකු පදිංචිව සිටි බවයි. ​සිද්ධිය වූ දිනට පෙරදින රාත්‍රී 10:06 ට නීපා තම මවට දුරකථන ඇමතුමක් ලබාදී විනාඩි 8 ක පමණ වේලාවක් කතාබහ කර තිබේ.  එහිදී ඇය තමාට සුළු හෙම්බිරිස්සාවක් සහ කැස්සක් ඇති බවත්, ඖෂධ ලබාගෙන ඉක්මනින් නිදාගන්නා බවත් මවට පවසා ඇත. එ...

ලේලිගේ දිනපොත - 25 : ලේලිගේ මැජික් එක හා නැන්දම්මගේ පාඩම්

පළවෙනි පරිච්ඡේදය :

ලේලිගේ මැජික් 

Lelige Dinapotha - 25 : ලේලිගෙ මැජික්


නැන්දම්මගෙ අදහස්


අද නිවාඩු දවසක් වුනාට කරන්න ගොඩක් වැඩ තියන නිසා නැන්දම්මගෙ එලාම් එක වැදෙන්න ඉස්සරින්ම නැගිටල කුස්සියට ගියා.

කුස්සියෙ දොර ගාවින්ම එකපාරටම මම ගැස්සිල පස්සට වුනේ කලුවරේම ඔලුවෙ ඉදන්ම රෙද්දක් පොරෝගෙන ඇතුලෙ ඉදගෙන ඉන්න රූපෙ දැකල 😧

බලද්දි නැන්දම්ම. අනේ මං දන්නෙ නැහැ මෙයා රෑට නිදියගන්නෙ නැද්ද කියල. මොකක්ද මේ මැච් එක කියල හිතන ගමන් මම….

“ මොකද අම්මෙ මේ කලුවරේ කරන්නෙ ??” කියල අහද්දි,

“බලන්නකො දුවේ, කුස්සියෙ ලයිට් එක ගහල ගිහිල්ලනෙ. මම මේ මොනවද කරන්නෙ කියල බල බල හිටියෙ” කියල කිව්ව.

“ඉතින් අම්මෙ, ලයිට් එකත් නැත්තං බල බල හිටියෙ, කාමරේට ගිහින් තව ටිකක් හොදට නිදියගන්න තිබ්බනෙ, මොකද අම්මට ලොකු වැඩක් තියනවයෑ පාන්දරම කරන්න” කිව්වම…..

“හොදට තියෙයි, මූසලකමට ඔහොම නිදියගත්තොත්, අනේ අපිට නං පුරුදු නෑ එහෙම නිදියල”

කියල කිව්වෙ වැරදි තීන්දුවක් දීපු විනිසුරුවෙක්ට ආවේගශීලී ක්‍රීඩකයෙක් රවනව වගේ බැල්මකින් 😡

අනේ මංදන්නෙ නැහැ මෙයාලගෙ මේ අදහස් වෙනස් කරන්න අපි මැරිල ඉපදුනත් බැරිවෙයි කියල මට හිතුන.

ඊට පස්සෙ මහත්තයටත් කතා කරල ලයිට් එක මාරු කරල, ඉක්මනින් මගෙ වැඩ ටික කරගත්ත.

උදේ කෑමත් කාල දවල්ට උයන වැඩත් ඉවර කරල මම ඉදගත්තෙ විභාගෙ ලග නිසා මගෙ පශ්චාත් උපාධියෙ පාඩම් වැඩ ටිකක් කරගන්න.

නැන්දම්මගෙ ඕපදූප බැලීම

මහත්තයත් සාලෙට වෙලා පත්තරයක් බල බල හිටියෙ. මට කවුරු හරි හයියෙන් හයියෙන් කතා කරනව වගේ සද්දයක් ඇහුන එලියෙන්.

මම ජනේලෙන් බලද්දි නැන්දම්ම එළියෙ තාප්පෙ ලගට වෙලා ඉන්නව. සද්දෙ ඇහෙන්නෙ පියසීලී ඇන්ටිලගෙ ගෙදරින්.

එහෙ පොඩි රණ්ඩුවක් වගේ. නැන්දම්ම තාප්පෙ ලගට ගිහිල්ල ඒක අහගෙන ඉන්නව 🥺

මම ඉක්මනට මහත්තයට කතා කරල පෙන්නුව නැන්දම්ම කරන දේ.

“මොනව කරන්නද අනේ, ඔන්න ඔහෙ හිටපුදෙන්” කියල මහත්තය කියද්දි, මම කිව්ව…….

“එහෙම හරි නැහැනෙ, ඔයා ගිහින් එක්කගෙන එන්න” කියල.

“අනේ මට නං බැහැ.එයා අද ඔය මැච් එක ඉවරවෙනකං ෆීල්ඩ් එකෙන් එන්නෙ නැහැ”

“ඔයාට පුලුවන් නම් ගිහිල්ල එක්කගෙන එන්න” කියල මහත්තය කියද්දි මට මේ මැච් එකට සහභාගී වෙන්නම ඕනෙ කියල හිතුන 🙂

ඉතින් මම නැන්දම්ම ලගට ගිහින් “ඇයි අම්මෙ, මොකද වෙලා තියෙන්නෙ ??” කියල ඇහුවම……

ආ.. දුවේ, ඔයත් ආවද ?? අහගෙන ඉන්නකො මෙයාලගෙ කෙරුවාව ටිකක්” කියල කිව්වෙ හරිම උද්‍යෝගයකින්. 

ඉතින් මම “අනේ අම්මෙ, හරි නැහැ නේද මෙහෙම ඉන්න එක. අපි යමු ගෙදරට” කියල කිව්ව.

එතකොට නැන්දම්ම “කෑ නොගහ ඉන්න ළමයො, මට මේක හරියට අහගන්න” කියල කිව්වෙ තියුණු තරගයක අන්තිම ඕවරේ බලන ප්‍රේක්ෂකයෙක් වගේ.

ඊට පස්සෙ මම…..

“ඉන්නකො අම්මට ඔය කියන දේවල් හරියට ඇහෙන්නෙ නැහැනෙ. මම එයාලට ගිහින් කියන්නම් ඔයාල කියන දේවල් අපේ අම්මට හොදට ඇහෙන්නෙ නැහැ. ටිකක් හයියෙන් කියන්න කියල”

කිව්වම නැන්දම්ම එතනින් ගස්සගෙන ගියේ මාවත් විසිවෙන තරමට. ඊට පස්සෙ මම ආයෙ මගෙ පාඩම් වැඩ ටික කරගන්න ගියා.

ටික වෙලාවකට පස්සෙ මම පාඩම් කර කර ඉන්න තැනට ආව මහත්තය මගෙන් ඇහැව්ව “ඔයා මොනව කියලද පැටියො අම්මව ගෙට එක්කගෙන ආවෙ ??” කියල.

“ඒව අහන්න එපා. ඒ මැජික්” කියල මම මහත්තයට ඇහැක් ගැහුව 😉

දැන්නම් හරි මහන්සියි ඇති ලිව්ව. දැන් නිදියගන්නව.


දෙවන පරිච්ඡේදය :

නැන්දම්මගෙ පාඩම

Lelige Dinapotha -25 : අමුත්තන්ගේ පැමිණීම


නැන්දම්මගෙ විරෝධය 


මම අලුතින් ගත්ත එයාර් ෆ්‍රයර් එකත් එක්ක නැන්දම්මට තියෙන්නෙ නම් එසේ මෙසේ අමාරුවක් නෙමෙයි 

මම ඒකෙන් වැඩක් කරන්න ගත්තොත් නැන්දම්ම එයාගෙ අතීතකාමය පටන් ගන්නව.

“මේව සෝබන බඩු. බොරුවට සල්ලි කන. ‘ම්.ම්.ම්.ම්’ ගගා සද්ද දැම්මට බොරු සද්දෙ විතරයි. මෙලෝ රහක් තියනවද මේවයෙ හදන කෑම වල. වේලිච්ච පට්ට වගේ”

ඒ වගේද තෙල් තාච්චියක බැදල ගත්තම කෑමක රස සුවද. මේං මෙහෙ හදද්දි හැතැප්මෙකට එහා සුවද ගහනව”

වගේ ගොඩක් දේවල් කිය කිය දස වදයක් දෙන්නෙ. තේරුම් කරල වැඩක් නැති නිසා මම දැන් නෑහුනා වගේ ඉන්නව😔

අද මහත්තයගෙ ඔෆිස් එකේ මහත්තය එක්ක ගොඩක් හිතවත් සීනියර් මැනේජර් කෙනෙක් එනව අපේ ගෙදර.

අපේ වෙඩින් එක දවස්වල එයා ට්‍රේනින් එකකට පිටරට ගිහිල්ල හිටිය නිසා වෙඩින් එකට එන්න බැරිවෙලා. ඉතින් රට ඉදන් ආවට පස්සෙ අපිව බලන්න අද එනව කියල.

එයාල එනව කිව්වෙ හවස තේ වෙලාවට. ඉතින් මම කුස්සියට වෙලා එයාලට දෙන්න ස්නැක්ස් ටිකක් හැදුව.

කුස්සියට ඇවිල්ල මැච් එකට පිට්ටනිය පරීක්ෂා කරන කැප්ටන් කෙනෙක් වගේ ඔක්කොම බලපු නැන්දම්මා

අනේ දුවේ... ගෙදරට අමුත්තෝ එද්දී දෙන්න ඔය වගේ පොඩි පොඩි දේවල් හරියන්නේ නෑ. බඩකට පිරෙන්න මොනව හරි දෙන්න එපායෑ” කිව්ව.

"අම්මේ... මේ අය එන්නේ තේ බොන්න විතරයි. රෑ කෑමට නෙමෙයි. ඉතින් මේව ඇති” කියල මගෙ වැඩේ කරගෙන ගියා.

"හ්ම්..." කියල නැන්දම්ම කුස්සියෙන් ගියා.

මම ඊට පස්සෙ අද පළවෙනි පාරට එයාර් ෆ්‍රයර් එකේ කට්ලට් හදන්න ගත්ත.

එයාර් ෆ්‍රයර් එකේ සද්දෙ ඇහිලද කොහෙද නැන්දම්ම කුස්සියට ආවේ නිකන් විදිල්ල වගේ. ඇවිල්ල ‘පවර් ප්ලේ’ එක පටන් ගත්ත 😒

එයා මුලින්ම එයාර් ෆ්‍රයර් එක දිහා බලලා නහය පොඩ්ඩක් ඇද කරලා පළවෙනි පන්දුව දැම්මා.

"අනේ දුවේ... මේකෙන් හදන කෑමත් කෑමද? කට්ලට් නම් තෙල් හොඳට උතුරන ලිපේ බැදපු ඒවා තමයි රස." කිව්ව.

ඒ අතරේ හස්බන්ඩ් කුස්සියට ආවේ තේ කෝප්පයක් හොයාගෙන.

"පැටියෝ... අම්මා කියන එකත් පොඩ්ඩක් ඇත්තනේ. අදට විතරක් තෙල්වල බැදලා ගමුද?" 
 
කියල මගෙ දිහා බලන් හිටියෙ LBW එකක් ඉල්ලල බලන් ඉන්න පන්දු යවන්නෙක් වගේ 

ඒත් මගෙ මූණෙ ඉරියව් දැකලද කොහෙද මහත්තය කිව්ව "නෑ කමක් නෑ.....එක්කො ඔහොමම කරන්නකො" කියල 🙂


අමුත්තන්ගේ පැමිණීම 


හවස 4 ට විතර අමුත්තො දෙන්න ආව. එයාල හරිම ප්‍රියමනාප මැදිවියේ ඉන්න ජෝඩුවක්.

මම ඉතින් බොහොම සැළකිල්ලෙන් එයාලට සංග්‍රහ කලා☺

කට්ලට් එකක් අරගෙන කෑව ඒ ඇන්ටි “අනේ මේ කට්ලට් නම් හරිම ෂෝක්. තෙල් වැඩියෙ නැහැ. කන්න පුලුවන් . මම තව එකක් ගන්නව” කියල තව අරගෙන කෑව.

“ඔව්. මම කට්ලට් හැදුවෙ එයාර් ෆ්‍රයර් එකේ. ඒ හින්ද තෙල් පාවිච්චි කලේ නැහැ වැඩියෙ. ඒකයි තෙල් ගතියක් නැත්තෙ” කියල මම කියද්දිම……

පැත්තකට වෙලා ඉදගෙන මෙතන කතාවට සම්බන්ධ වෙන්න බලාගෙන හිටිය නැන්දම්ම එකපාරටම……

“අපි ඉන්න හින්ද හොදයි ඉතින් මේව ගැන මේ ළමයින්ට කියල දෙන්න. දැන් ළමයින්ට ඒ තරම් ගෙදර වැඩ ගැන දැනුමක් තේරුමක් නැහැනෙ”

කියල කිව්වෙ මමයි, මහත්තයයි මූණෙන් මූණ බලාගනිද්දි 🤔

“අනේ කොච්චර දෙයක්ද මෙහෙම දැනුම් තේරුම් ඇති අම්ම කෙනෙක් ඉන්න එක දුව ඔයා හරි වාසනාවන්තයි” කියල ඒ ඇන්ටි කියද්දි මමත් ඉතින් ඔලුව වනල හිනා වුනා.

“මමත් මීට පස්සෙ එයාර් ෆ්‍රයර් එකේ කට්ලට් බදින්න ඕනෙ. මම එහෙම දෙයක් දැනං හිටියෙ නැහැනෙ” 
 
කියල කිව්ව ඒ ඇන්ටි ආයෙත් නැන්දම්ම දිහා බැලුවෙ ගොඩක් ස්තූතිපූර්වකව.

නැන්දම්මත් බොහොම ආඩම්බරෙන් බලන් ඉන්නව මම ඇස් කොනින් දැක්ක.

දැන් වෙලාව රෑ 11 යි. මම දැන් යනව නිදියගන්න 🥱



ලේලිගේ දිනපොත ඊලග කොටස >>



Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම