මුතූගේ ලියවිලි

ප්‍රීතිමත් ජීවිතයකට පියවර

නැන්දම්මා ලේලි  ගැටුම් අවම කර ගනිමු

මුතූගේ ලියවිලි - නැන්දම්මා ලේලි ගැටුම් අවම කර ගනිමු

පාඨක අදහස් :

මම “ලේලිගේ දිනපොත” ලිවීමට ගත්තාට පසු එයට එයට ලැබුන ප්‍රතිචාර අප්‍රමාණයි.

මට පෞද්ගලිකව කතා කරමින් තමන්ගේ අත්දැකීම් බෙදාගත් අය මෙන්ම මැසෙන්ජර් පණිවිඩ එවමින් තමන්ගේ අත්දැකීම් බෙදාගත් අයද සිටියා.

එමෙන්ම මගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇසූ අයද බොහෝයි.

ඉතින් මට හිතුනා ඒ හැමෝගෙම අත්දැකීම් එකතු කරල පුංචි ලිපියක් ලියන්න

මම හිතනව මම මේ ගොඩක් දෙනෙක්ගෙ අත්දැකීම් එකතු කරල ලියන මේ දේවල් ඔයාල ආසාවෙන් කියවයි කියල .

ඒ වගේම ඔයාලගෙ ජීවිත වලටත් ගතයුත්තක් තියෙයි කියල.

එක්කෙනෙක් මට මැසේජ් එකක් එවල තිබුනෙ පිටරටක ඉදල. එයා ලංකාවෙදි ටීචින් කලේ කියල තිබුන. එයාගෙ මහත්තයත් ගොඩක් හොද රැකියාවක් කරල තිබුනෙ.

අවුරුදු 10, 12 වයස්වල බබාල දෙන්නෙක් එයාලට ඉන්නව. එයා මට ලියල තිබුන එයා හැමදාම මගෙ කතාව කියවනව. ඒ කියවද්දි මතක් වෙන්නෙ එයා ලංකාවෙ ගතකරපු ජීවිතේ කියල.

එයා ලංකාව දාල වෙන රටකට යන්න ලොකුම හේතුව එයාගෙ නැන්දම්මත් එක්ක ජීවත් වෙන්න තිබුන අපහසුව කියල ලියල තිබුනෙ.

තවත් කෙනෙක් ලියල තිබුන නැන්දම්ම එයාට ගෙදර තියන මල් පෝච්චියක්වත් එහා මෙහා කරන්න දෙන්නෙ නැහැ, හැමදෙයක්ම වෙන්න ඕන නැන්දම්ම කියන විදිහටයි කියල.

එතකොට තව කෙනෙක් ලියල තිබුන දේ මම ලියන කතාවක වගේ ටිකක් හාස්‍යජනක දෙයක්.

ඒ තමයි නැන්දම්ම කරන්නෙම එයා අකමැති දේවල්ලු. ඒක නිසා ඒ ගෑනු ළමය එයා කන්න ගොඩක් කැමති දේවල් අකමැතියි කියල කියනවලු. එතකොට නැන්දම්ම උයන්නෙ ඒ කෑමලු.

එක නැන්දම්මා කෙනෙක් මට ලියල තිබුන එයාගෙ ලේලි හරිම නපුරුයි, එයාට දැන් ලේලි නිසා එයාට ජීවිතෙත් එපා වෙලා තියෙන්නෙ කියල.

ඇත්තටම ඇයි මෙහෙම වෙන්නෙ ?

අපි ටිකක් හිතල බලමු. මේ තරම් දියුණු යුගයක ජීවත් වෙන අපිට ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ ?

දෙන්නෙක් විවාහ වුනාට පස්සෙ ටික කාලයක් හරි ඒ දෙන්නට තනියම ජීවත් වෙන්න තියනව නම් ඒක තමයි ඇත්තටම උචිතම දේ වෙන්නෙ.

ඒත් නොයෙකුත් හේතු නිසා ගොඩක් දෙනෙකුට එහෙම කරන්න බැරි වෙනව. ඉතින් එතකොට කොහොමද ගැටලු අවම කරගෙන ජීවත් වෙන්නෙ. අපි බලමු……….

ඕනෑම සම්බන්ධතාවයක පදනම වෙන්නේ අනෙක් කෙනාව තේරුම් ගැනීම.

ලංකාවෙ සාමාන්‍යයෙන් අම්ම කෙනෙකුට තම පුතා ගැන ඇති අයිතිය සහ ඔහු කෙරෙහි ඇති ආදරය ගැඹුරුයි.

ලේලි කෙනෙකුට ඕනෙ අවශ්‍ය වන්නේ තම පවුල් ජීවිතය අලුතින් ගොඩනඟා ගැනීමටයි.

ගැටුම් ඇති වන්නේ මෙම අවශ්‍යතා දෙක ගැටෙන විටයි.

කොහොමද මේ ගැටුම් අවම කරගන්නෙ?

මුතූගේ ලියවිලි - නැන්දම්මා ලේලි සහයෝගය


ලේලියක් ලෙස, තම නැන්දම්මාගේ අත්දැකීම් සහ ඇය තම පවුල රැකගත් ආකාරය දෙස ගෞරවයෙන් බැලීමත් වැදගත් වගේම….

නැන්දම්මා කෙනෙකු තම ලේලියගේ නවීන දෘෂ්ටිකෝණයන් සහ ඇයගේ පෞද්ගලිකත්වය පිළිගැනීමට සූදානම් විය යුතුය.

මෙය සිදුවිය යුත්තේ "මම කියන දේ කළ යුතුයි" යන ආකල්පයෙන් නොව, "අප දෙදෙනාගේම අරමුණ මේ පවුලේ සතුටයි" යන පොදු එකඟතාවයෙනි.

එමෙන්ම බොහෝ නිවෙස් වල ගැටලු ඇතිවන්න අම්මා පුතාට ඇති ආදරය “අයිතිවාසිකමක්” ලෙස ප්‍රකාශ කිරීමට යාමෙනි.

අම්මා තමා කව්ද කියාත්, තමා සිටිය යුතු තැනත් නිසි ලෙස අවබෝධ කර ගන්නවානම්……

“පුතා මට වඩා ලේලිට ආදරෙයි” කියා සිතෙන ඊර්ෂ්‍යාසහගත සිතුවිලි නැති වෙලා යනව.

ඒ තමයි ගැටුම් අවම කරගැනීමේ පළමු පියවර.

​නැන්දම්මා ලේලි සම්බන්ධතාවයක ඇතිවන ගැටුම් විසඳා ගැනීමටත්, එය ශක්තිමත් කර ගැනීමටත් ගත හැකි පියවර කිහිපයක්

​විවෘත හා අවංක සන්නිවේදනය: දේවල් හිතේ තබාගෙන සිටීම අසහනය වැඩි කරනව.

 උදාහරණයක් ලෙස, ගෙදර දොරේ වැඩ කටයුතු පිළිබඳ මත ගැටුමක් ඇති වූ විට, "ඔයා මේක කරන්නේ නැහැ" කියා චෝදනා කරනවා වෙනුවට, "අපිට මේ වැඩ බෙදාගෙන කරමුද? එතකොට අපිට දෙන්නටම විවේකයක් ලැබේවි" කියල කියන්න පුලුවන්.

මෙතනදී අවස්ථාවට උචිත ව්දිහට උපක්‍රමශීලී වෙන්න ඕන.

​පෞද්ගලිකත්වය ගරු කිරීම: තරුණ යුවළකට ඔවුන්ගේම පෞද්ගලික ඉඩකඩක් තියෙන්න ඕන. ඒක අතිශයින්ම වැදගත් දෙයක්.

​ධනාත්මක දේ අගය කිරීම: දිනපතාම එකිනෙකාගේ හොඳ දේ අගය කිරීමට උත්සාහ කල යුතුයි.
 ලේලියක් නැන්දම්මාගේ උයන පිහින රසවත් කෑමක් ගැන හෝ ඇයගේ නිවසේ පිළිවෙල ගැන වචනයකින් හෝ අගය කිරීමෙන් ඇයට ලොකු සතුටක් ලැබෙනව. 

නැන්දම්මා ද තම ලේලියගේ වෙහෙස මහන්සිය හෝ ඇයගේ දියුණුව ගැන සතුටු වචනයක් පැවසීමෙන් පවුලේ වාතාවරණය ගොඩක් සුහදශීලී වෙනව.

මෙහිදීද අවස්ථානුකූල උපක්‍රමශීලීත්වය හරිම වැදගත්.

 පවුල් ආරවුලකදී පුත්‍රයාට නැත්නම් සැමියාට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දිය යුතුය. නැන්දම්මා හෝ ලේලිය දෙදෙනාම සැමියා මැදි කරගෙන එකිනෙකාට දොස් පැවරීමෙන් වළකින තරමට පවුලේ සාමය පැවතෙනව.


​අද කාලයට ගැළපෙන ආකල්ප :

මුතූගේ ලියවිලි - නැන්දම්මා ලේලි බැදීම

අද පවතින කාර්යබහුල ජීවන රටාව තුළ, නැන්දම්මා සහ ලේලිය යනු එකිනෙකාට සතුරන් නොව, එකිනෙකාට උදව් කරගත හැකි මිතුරන් විය යුතුය.

ලේලිය රැකියාවක නිරත වන්නියක් නම්, ඇයට නිවසේ වැඩ කටයුතුවලදී නැන්දම්මාගේ සහයෝගය බොහෝ වටින්නේය.

එමෙන්ම, නැන්දම්මාට අත්‍යවශ්‍ය අවස්ථාවලදී ලේලියගේ සැලකිල්ල සහ ආදරය මහත් සැනසීමකි.

ලේලි නැන්දම්මා සටන යනු ස්වභාවික ධර්මතාවයක් නොවේ. එය හුදෙක්ම අවබෝධයේ මදිකම නිසා නිර්මාණය වන්නකි.

නැන්දම්මා කෙනෙකුට තම තාරුණ්‍යය හා අතීතය ලේලිය තුලින් දකින්නත්……

ලේලියකට තම අනාගතය සහ පරිණතභාවය නැන්දම්මා තුලින් දකින්නත් පුලුවන් වුනොත්……

මේ සම්බන්ධය ලෝකෙ තියන සුන්දරම හා ශක්තිමත්ම සම්බන්ධක් කරගන්න පුලුවන් .



(මේ පිළිබදව ඔබේ වටිනා අදහස් දැනගැනීමට බොහොම කැමැත්තෙන් ඉන්නව )





Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම